සිසුන් හා මාපියන් අපහසුවට පත්කරනවනම් 1988ට කියන්න

Share

පාසල්වල ආරක්ෂාව තහවුරු කරන බව පවසමින් දරුවන් පාසල් බෑග් ගෙන ඒම වැළැක්වීමට හෝ ඒ වෙනුවට ආදේශක ලෙස වෙනත් දෑ මිලදී ගන්නැයි බල කරමින් දරුවන් හා මාපියන් අපහසුතාවයට පත්වන අන්දමේ සිදුවීම් කීපයක් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇත.

ඊට අමතරව ආරක්ෂක උපකරණ මිලදී ගැනීමටයැයි පවසමින් ඇතැම් කණ්ඩායම් පාසල් දරුවන් හා මාපියන් අපහසුතාවට පත් කරමින් මුදල් එකතු කරන බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අවධානයට ලක් වුණි.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් එවැනි කිසිදු උපදෙසක් හෝ අනුමැතියක් ලබා දී නොමැති කරුණු සම්බන්ධයෙන් සිසුන් හා මාපියන් අපහසුවට පත්වන අයුරින් යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් හෝ කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳව වහාම සොයා බලන ලෙසට අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන ලේකම් නිහාල් රණසිංහ මහතාට උපදෙස් ලබා දී ඇත.

පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් මෙන්ම විදුහල්පතිවරු, ගුරුවරුන් හා මාපියන් ද දැඩි කැපවිමකින් කටයුතු කරන අයුරු කෘතවේදීව සිහිපත් කළ අමාත්‍යවරයා පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ක්‍රියාකාරකම් හේතුවෙන් පද්ධතිය තුළ අනවශ්‍ය ගැටලු නිර්මාණය වීම කණගාටුදායක බව ද පෙන්වා දී ඇත.

මෙවැනි අවස්ථාවක දරුවන් හා මාපියන් අපහසුතාවයට පත් නොකරමින් කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීම බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා, සිසුන් හා මාපියන් අපහසුවට පත් කරමින් සිදුවන මෙවැනි ක්‍රියාවන් පිළිබඳව තොරතුරු වෙතොත් අධ්‍යාපන අමාත්‍යාංශයේ 1988 දරණ දුරකථන අංකය අමතා ලබා දෙන්නැයි ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

Read more

Local News