කුරුණෑගල වෛද්‍යවරයා ගැන විමර්ශනයට හය දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක්

Share

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සිහාබ්ඩීන් මොහොමඩ් ෂාෆි පිළිබඳව විමර්ශනය කිරීම සඳහා සාමාජිකයින් හය දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් පත්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් පවසයි.

මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාගෙන් සීසේරියන් සැත්කම් සිදු කරගැනීමෙන් පසු තමන් ගැබ් නොගැනීම පිළිබඳ ගැටලුවලට මුහුණ දී සිටින බව පවසමින් මව්වරුන් 51 දෙනකු මේ වන විට පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

ඒ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සහ හෙද නිලධාරී සංගම් පවසන්නේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි රෝහල් විමර්ශනවලට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් බලපෑම් එල්ල වෙමින් පවතින බවයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සීසේරියන් සැත්කම් සිදු කළ සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆි නමැති වෛද්‍යවරයා පසුගිය මැයි 24 වැනිදා අත්අඩංගුවට ගැනුණේ සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා මතයි.

එහෙත් ඔහු පිළිබඳ පැතිර ගොස් තිබූ ඇතැම් ප්‍රචාර හේතුවෙන් සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබුණි.

කුරුණෑගල රෝහලට පසුගිය 26වනදා පැමිණි මව්වරුන් දස දෙනකු පැමිණිලි කර සිටියේ ෂාෆි වෛද්‍යවරයාගෙන් සීසේරියන් සැත්කම් සිදු කරගැනීමෙන් පසු තමන් යළිගැබ් නොගැනීමේ ගැටලුවකට මුහුණ දී සිටින බවයි.

ඊයේ (27)  දිනයේද තවත් මව්වරුන් රැසකගෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට එම පැමිණිල්ලම ඉදිරිපත් වී තිබුණි.

චෝදනාවලට ලක්ව සිටින සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියි.

මේ අතර ඊයේ පස්වරුවේ දඹුල්ල මූලස්ථාන පොලීසිය වෙත පැමිණි මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ද අද පැමිණිල්ලක් ගොනු කර තිබේ.‍

ඒ වෛද්‍ය මොහොමඩ් ශාෆි දඹුල්ල රෝහලේ සේවය කරන කාල සීමාවේ සිය පළමු දරු ප්‍රසූතිය සඳහා 2013 වසරේ ඔහුගෙන් සිදු කරගත් සිසේරියන් සැත්කමින් පසු මේ දක්වා තමන්ට දරුඵල අහිමි වී ඇති බව පවසමින්ය.

අදාළ පැමිණිල්ලේ පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට පියවර ගන්නා බව දඹුල්ල පොලීසිය සඳහන් කළේය.

Read more

Local News