පණ්ඩිත් අමරදේව සංගීත අසපුවට මුල්ගල් තැබේ

Share

පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය අද (28) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී සිදු විය.
සංගීත අසපුව පණ්ඩිත් අමරදේවයන් ජීවත්ව සිටි කාලයේ දී රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වන අතර බත්තරමුල්ල අපේගම ආසන්න නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 120කට අධික භුමියක් පුරා මෙම සංගීත අසපුවේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. ඉදිරියේ දී අමරදේව අසපුව ආයතනයක් ලෙසින් පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කිරීමට ද කටයුතු කෙරේ.
මේ සඳහා රුපියල් මිලියන 200ක් වැයවෙතැයි ඇස්තමේන්තු කොට ඇති අතර ඒ සඳහා 2017 සහ 2018 වසරවලදී මහභාණ්ඩාගාරය වෙතින් මුදල් ප්‍රතිපාදන ලබාදීමට නියමිත අතර එහි ඉදිකිරීම්  2019 වසරේ මුල්කාර්තුව වන විට අවසන් කොට ජනතා අයිතියට පත්කිරීමට ද බලාපොරොත්තු වේ.
මෙම අවස්ථාවේ දී පණ්ඩිත් අමරදේවයන්ගේ මැක්සයිසේ සම්මානය ද විමල් අමරදේව මහත්මිය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ලබාදෙමින් එම සම්මානය රජය සතු කළ අතර එම සම්මානය කෞතුකාගාරය වෙත භාරදීම ද සිදුවිය.
මෙම අවස්ථාව පණ්ඩිත් අමරදේවයන්ගේ බිරිඳ විමලා අමරතුංග සහ දරුවන්, අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, ලසන්ත අලගියවන්න, ගයන්ත කරුණාතිලක, අකිල විරාජ් කාරියවසම්, රාජිත සේනාරත්න, ගාමිණි ජයවික්‍රම පෙරේරා, අර්ජුන රණතුංග, මංගල සමරවීර, එස්.බී. නාවින්න, නිමල් සිරිපාල ද සිල්වා, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, කරුණාරත්න පරණවිතාන මහත්වරුන් ඇතුළ කලාකරුවන් පිරිසක් එක්ව සිටියහ.

Read more

Local News