විශාල මත්ද්‍රව්‍ය ජාලයක තොරතුරු හෙලිවේ

Share

පාදුක්ක හා හෝමාගම ප්‍රදේශ ආශ්‍රිතව සිදුකරගෙන ගිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ ජාලය හඳුනාගැනීමට පාදුක්ක පොලීසිය සමත් වී තිබේ. පාදුක්ක පොලීසිය විසින් හෙරොයින් මිලිග්‍රෑම් 10 ක් ද සමඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සමග එම ජාලයේ පුද්ගලයන් සිව් දෙනෙකු මේවන විට අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී කොළොන්නාව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙක්ද හෙරොයින් කිලෝ ග්‍රෑම් එකක් සමඟ පොලිස් අත්අඩංගුවට පත්විය.

 

මෙලෙස අත්අඩංගුවට ගැනුණේ සුදත් ප්‍රියදර්ශන නමැති 27 හැවිරිදි අයෙකි. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පාදුක්ක පොලීසිය විසින් අදාළ පුද්ගලයාට හෙරොයින් විකිණූ ප්‍රදීප් තුෂාර හෙවත් “බත් ඇටයා” නම් පුද්ගලයාව ද හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව බත් ඇටයාගෙන් ලබාගත් තොරතුරු අනුව පාදුක්ක පොලීසිය විසින් කොළොන්නාව කැප්පිටිපොල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10 ක් සමඟ චානක ප්‍රසාද් නම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු ත්‍රී රෝද රථයක් යොදාගනිමින් හෙරොයින් ප්‍රවාහනය  සිදුකරන අයෙකි.

පසුව පොලීසිය ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස කොලොන්නාව දූවවත්ත ප්‍රදේශයේදී ජගත් ජයලාල් නම් අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු කොළොන්නාව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙක් ලෙස කටයුතු කර ඇති අතර ඔහු සතුව තිබී හෙරොයින් කිලෝවක් පොලිස් බාරයට ගෙන ඇත. මෙම පුද්ගලයා සතුව තිබී කාර් රථයක් හා ත්‍රී රෝද රථ 02 ක් පොලීසිය  සිය බාරයට ගෙන තිබේ.

ජනාධිපතිවරයාගේ හා ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු ජාලගත සබඳතා හඳුනාගැනීම අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර ඊයේ (17) හඳුනාගත් එම ජාලයේ තවත් තොරතුරු අනාවරණය වෙමින් පවතිනබව බස්නාහිර පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා සඳහන් කළේය.

Read more

Local News