නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ තවත් වියළි කහ තොගයක් මන්නාරම සහ නොරෝච්චෝලේ වෙරළ තීරයන්හී දී නාවික හමුදා බාරයට ගෙන තිබේ.
වියළි කහ කිලෝ 807කට ආසන්න ප්රමාණයක් නොරොච්චෝලේ දලුව සහ මන්නාරම වංකාලේ යන වෙරළ තීරයන්හීදී ඊයේ (18) සොයා ගත් බව නාවික හමුදාව පවසයි.
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නොරොච්චෝලේ දලුව වෙරළ තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී ඩිංගි යාත්රා දෙකක් තුළ සඟවා ගෝනි මලු 14ක් තුළ අසුරන ලද වියළි කහ කිලෝ 700කට ආසන්න ප්රමාණයක් මෙලෙස සොයා ගෙන තිබේ.
ඒ සමග කල්පිටිය ප්රදේශයේ පදිංචි අවුරුදු 25ත් 58ත් අතර වයසේ පසුවන සැකකරුවන් සිව් දෙනෙක් නාවික හමුදා බාරයට ගෙන ඇත.
මේ අතර, මන්නාරම වංකාලේ වෙරළ ප්රදේශයේ සිදුකළ මුර සංචාරයක දී වෙරළට ගොඩගසා තිබූ සැක සහිත ගෝනි මලු දෙකක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී තෙත බර සහිත කහ කැබලි කිලෝග්රෑම් 107 කට ආසන්න ප්රමාණයක් සොයා ගෙන තිබේ.
ඒ අනුව, නාවික හමුදාව විසින් පසුගිය සති තුනක කාලය තුළ අවස්ථා කිහිපයක දී නීති විරෝධී ලෙස
මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියළි කහ කිලෝ 8245 කට අධික ප්රමාණයක් නාවික
හමුදා බාරයට ගෙන ඇත.




