නියෝමාල් රංගජීව කළ හෙළිදරව්ව

Share

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ගැටුම සිදුවූ අවස්ථාවේ තමා එම ස්ථානයට ගියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයකට අනුව බව පවසන්නැයි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමාට බලපෑම් කළ බව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඊයේ (19) හෙළිදරව් කළේය.

 

සිද්ධිය සම්බන්ධ නඩුව ඊයේ (19) කොළඹ මහාධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ දී ඔහු මේ බව පැවසීය.

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමේ දී රැඳවියන් 8 දෙනෙකු ඝාතනය කළ බවට වන චෝදනාවේ ප්‍රධාන විත්තිකරු, පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඊයේ සිය විත්තිවාචකය ඉදිරිපත් කළේය.

ඒ ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේය.

2015 අප්‍රේල් 6 වැනි දා එවක පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාව සිටියදී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමාට කතා කළ බවත්, වැලිකඩ බන්ධනාගාරය තුළ කැරැල්ල ඇතිවූ අවස්ථාවේ දී තමා එම ස්ථානයට ගියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයකට අනුව බව පවසන ලෙස ඔහු තමාගෙන් ඉල්ලා සිටි බවත් රංගජීව මහතා එහිදී කියා සිටියේය.

ඊට තමා එකඟ නොවීම නිසා පූජිත් ජයසුන්දර මහතා තමා සමග අමනාපයෙන් පසුවූ බවත් විත්තිකරු කියා සිටියේය.

එම සිද්ධියෙන් පසු තමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන මෙම නඩුවට පටලැවීමට උත්සාහ කළ බව ද අධිකරණය හමුවේ ඔහු පැවසීය.

වැලිකඩ ගැටුම ඇතිවූ අවස්ථාවේදී තමා එහි සිටි බවට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ද රංගජීව මහතා කියා සිටියේය.

මෙම නඩුවේදී රැඳවියෙකු තමාට එරෙහිව සාක්ෂි ලබාදුන් බවත් ඉන් පසු එම රැඳවියාට බන්ධනාගාර නිලධාරියෙකු මගින් රුපියල් ලක්ෂ 38ක මුදලක් ලබා දී ඇති බව ද විත්තිකරු අධිකරණයට පැවසීය.

ඔහු කියා සිටියේ තමාට එරෙහි සාක්ෂි ලබාදුන් නිසා රැඳවියාට එලෙස මුදල් ලබා දුන්නේදැයි සැකයක් පවතින බවය.

රංගජීව මහතාගෙන් වැඩිදුර සාක්ෂි සටහන් කරගැනීම ලබන 26 වැනි දා තෙක් කල් තැබුණි.

Read more

Local News