විදුලිය විසන්ධි වුණේ අත්වැරදීමකින් ?

Share

කෙරවලපිටිය ප්‍රධාන විදුලි උපපොළේ නඩත්තු කටයුත්තක දී විදුලි අධිකාරිවරයෙකුගෙන් සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් මුළු දිවයිනටම විදුලිය විසන්ධි වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි (සම්ප්‍රේෂණ) ආචාර්ය සුසන්ත පෙරේරා මහතා පවසයි.

 

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“මෙ සිද්ධිය ආරම්භ වෙලා තියෙන්නේ කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළේ නඩත්තු කටයුත්තක් කිරීමේ දී, ඒ නඩත්තු කටයුත්ත සැහෙන දුරට නිම කරලා. අවසාන කොටස නිම කිරීමේ දී එය බාරව හිටපු විදුලි අධිකාරි මහත්මයාගේ අතින් අත්වැරැද්දක් වෙලා තියෙනවා. ඒ අත්වැරැද්ද හේතුවන්. අපි ඒකට කියනවා “අර්ත්“ වෙනවා කියලා. “අර්ත්“ වීම නිසා සෝට් එකක් ඇතිවෙලා. ඒ දෝෂය නිසා හටගත්තු ප්‍රතිඵයක් ලෙස අවසානයේ දී නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය ඒ වෙන විට ක්‍රියාකරමින් තිබූ විදුලි ජනන යන්ත්‍ර තුන විසන්ධිවෙලා තියෙනවා. තුනම එකපාර නෙමෙයි යම් කාලයත් තුළ පද්ධතියෙන් විසන්දි වෙලා තියෙනවා.“ යනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.

“මේ සිද්ධිය වුණේ දවල් 12.30ට විතර, සාමාන්‍යයෙන් සතියේ දිනක දවල් 12.30 වන විට පද්ධතියේ විදුලි ඉල්ලුම තියෙනවා මෙගා වොට් 2100-2200 වගේ. සමහර දිනවල ඊට වැඩිවෙන්ත් පුළුවන්. ඒ ඉල්ලුම සමග බලනවිට නොරොච්චෝලේ 810යි, ඒ වෙනකොට මුලින් දෝෂය ඇති වුණ කෙරවලපිටිය උප පොළෙන් මෙගා වොට් 135ක් පමණ පද්ධතියට සම්බන්ධවෙලා තිබුණා. ඒත් සමග විශාල ප්‍රමාණයකට විදුලි ඉල්ලුම සපයන්න බැරි වෙලා තියෙනවා. එහෙම වුණාම පද්ධතියේ ලොකු අසමතුලිත තත්ත්වයක් ඇති වුණා.“ යැයි ඒ මහතා සඳහන් කළේය.

“නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ක්‍රියා විරහිත වුණාම නැවත පණගන්වන්නට ඕනේ. එලෙස පණගැන්වීම සාමාන්‍යයෙන් එම බොයිලේරුවේ උෂ්ණත්වය පන්සිය ගණනකට වැඩි වෙනවා. එකක් නැවැත් වූ විට උෂ්නත්වය පහළ බහින්නේ නැහැ. එහි උෂ්ණත්වය ස්වාභාවිකව අඩුවන තුරු සිටිය යුතුයි. බොයිලේරුවට වතුර පුරවලා ඒ ක්‍රියාවලිය පටන්ගන්න, එය සිසිල් වෙන කාලය තමයි දවස් තුන හතරක් ගතවෙන්නේ. යනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර පසුගිය දා සිදුවූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් රුපියල් කෝටි 100ක පමණ අලාභයක් ආර්ථිකයට සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් පැවසීය.

Read more

Local News