කෘෂි අස්වනු වැඩි කිරීමට කාලය එළැඹ ඇතැයි ජනපති කියයි

Share

ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනගනු පිණිස කෘෂි අස්වනු වැඩි කිරීමට කාලය එළැඹ ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඒ සඳහා යෝජනා රැසක් ඉදිරිපත් කර ඇති බවයි.

COVID-19 වසංගතය නිසා බිඳ වැටෙමින් පවතින සෙසු රටවල ආර්ථිකයන් නිරීක්ෂණය කොට දේශීය කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළ බව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

බීජ සහ පැළ නිෂ්පාදනය, පොහොර භාවිතය, කෘෂි නවෝත්පාදන පර්යේෂණ, ගබඩාකරණය සහ ප්‍රවාහනය යන සියලු ක්ෂේත්‍ර කෙරෙහි අවදානය යොමුකරමින් ඉදිරි දෙවසරේදී අභියෝගගත ඉලක්ක සපුරාගත යුතු බව ජනාධිපතිවරයා පවසයි.

වී හා ධාන්‍ය, කාබනික පොහොර, එළවළු, පළතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා ඒ බව සඳහන් කළේ ය.

මෙරට වාර්ෂික අර්තාපල් අස්වැන්න ටොන් 80,000කි. පාරිභෝගික අවශ්‍යතාව ටොන් 2,50,000ක් ය.

අර්තාපල් ආනයනය නොකර දේශීයව අවශ්‍යතාව සපුරා ගැනීමට ගොවීන් දිරිමත් කළයුතු බව ජනාධිපතිවරයා එහිදි අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඉහළ තාක්ෂණයක් යටතේ දෙමුහුන් බීජ සහ පැළ ගොවීන්ට බෙදා දී ඉලක්කය ජය ගැනීමටත්, වෙනත් ආදේශක අල වර්ග පාරිභෝජනයට දිරි ගැන්වීමෙන් අර්තාපල් ආනයනය සීමා කිරීමටත් හැකි බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.

ගබඩාකරණයේදී සහ ප්‍රවාහනයේදී වන හානිය මගහරවා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට එහිදී ලක් කෙරුණි.

Read more

Local News