ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපීය සැසිවාරය ඇරඹේ

Share

අද දින (09) පෙරවරු 9.30 ට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කරනු ලබන දකුණු ආසියානු කලාපීය රටවල 73 වන සැසිවාරය තායිලන්තයේ බැංකොක් නගරය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරුණි.

 

මෙම සැසිවාරයට ලංකාව ඇතුලු දකුණු ආසියානු කලාපීය රටවල් 11 ක  අමාත්‍යවරු ඇතුලු නියෝජිතයින් රැසක් සහභාගි වී සිටියහ.

එම රටවල් අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, භූතානය, ඉන්දුනීසියාව, තායිලන්තය, තිමෝරය, මියෙන්මාරය, මාලදිවයින, නේපාලය හා උතුරු කොරියාව වේ.

රටවල් අතර නියෝජිතයින් තම අදහස් හුවමාරු කර ගන්නා ලද්දේ අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය මගින් වන අතර, කොළඹ පිහිටි මෙරට ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලයේ දී 73 වැනි සැසිවාරය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා,  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ  නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

මෙවර සැසිවාරයේ සභාපතිත්වය තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය Mr.Anutin Aharnvirakul මහතා විසින් දරන ලදි.

මෙවර දකුණු ආසියානු කළාපීය රටවල 73 වන සැසිවාරයේ දී විශේෂයෙන්ම සාකච්ඡාවට භාජනය වූයේ ලොව පුරා පැතිරයමින් පවතින කොවිඩ් – 19 වෛරසය පිළීබදව සහ වෛරසය ව්‍යාප්තිය පාලනය කිරිම පිළීබදවය. මෙහිදී මෙරට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ශ්‍රී ලංකාව කොවිඩ් – 19 උවදුර මර්දනය හා මැඩපැවැත්වීම සදහා ගනු ලැබූ තීන්දු තීරණ හා ක්‍රියාමාර්ගයන් පිළිබද අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ කළාපීය රටවල නියෝජිතයින්ට කරුණූ පැහැදිලි කරන ලදි.

“ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ ප්‍රාදේශීය අධ්‍යක්ෂ වෛද්‍ය පූනම් චෙට්‍රපාල්  සිං (Dr Poonam Khetrapal Singh) මහත්මියගේ  වාර්ෂික වාර්තාව පළමුව අගය කරනු ලබනවා. අපගේ රටවලට නායකත්වය ලබාදීමේ දී සහ අපගේම හදිසි ප්‍රතිචාරය ශක්තිමත් කිරීමේදී අපගේ ප්‍රාදේශීය අධ්‍යක්ෂවරයා විසින් ඉටුකරන ලද වැදගත් කාර්යභාරය එම වාර්තාවෙන් සැබවින්ම පිළිබිඹු  වෙනවා. කොවිඩ්-19  වෛරසයට මුහුණ දී රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ගිය වැඩපිළිවෙලේ දී මෙරට COVID-19 ප්‍රතිචාරය පිළිබඳ තීරණ ගනු ලැබුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ සමස්ත රජයේ ප්‍රවේශයක් අනුගමනය කරමින්, ජාතික කාර්ය සාධක බලකායක් පිහිටුවීමෙනි. වසංගතයේ මුල් අවධියේ දී සිටම වෛරසය පාලනය හා මැඩපැවැත්වීම සදහා කඩිනම් පියවර ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ නව රජය කැපවීමෙන් කටයුතු කරනු ලැබුවා.”

“ආරක්ෂක හමුදා,  මහජන සෞඛ්‍ය කණ්ඩායම් සමඟ අත්වැල් බැඳ ගනිමින් කොවිඩ් වෛරසය පාලනය හා මර්දනය සදහා ගෙනගිය වැඩපිළිවෙල මහජනතාව විසින් පිළීගැනීම ද ඉහත සාර්ථකත්වයට හේතු වුණා. ඒ තුලින් කොවිඩ් ආසාදිත පොකුරු කළමණාකරනය කළ හැකි සංඛ්‍යාවක තබා ගැනීමටත්, මෙම පොකුරු වලින් පිටත ප්‍රජා සම්ප්‍රේෂණය වැළැක්වීමටත් අපට හැකි විය. සාර්ථකව වෛරසය පාලනය කිරීමත් සමග පනවා තිබූ සීමා ලිහිල් කිරීම සිදුවිය යුතු ආකාරය පිළිබඳ උපදෙස් සකස් කිරීම සඳහා සෞඛ්‍ය  අමාත්‍යාංශය විසින් තාක්ෂණික කමිටුවක් පත් කිරීමට කටයුතු කළා. එම කමිටුව හරහා ගන්නා ලද තීන්දු තීරණ පියවර රජය විසින් අනුමත කොට ක්‍රීයාවට නංවනු ලැබුවා. අග්නිදිග ආසියානු කලාපීය රටවල් බොහොමයක මෙන්ම අපේ රටේ ආර්ථික පුනර්ජීවනය රඳා පවතින්නේ සංචාරක,  ශ්‍රම සංක්‍රමණ  සහ අපනයන මත පදනම් වූ කර්මාන්ත මතයි. අන්තර්ජාතික සංචාර සුරක්ෂිත කිරීම තුළින් අපේ ආර්ථිකයන්ට විවෘත විය හැකි ආකාරය පිළිබඳ කලාපීය සාකච්ඡාව තුළින් වඩා හොඳ අවබෝධයක් ඇති කරගැනීම සඳහාත්, කලාපීය තාක්ෂණික සහාය සඳහාත්, කලාපීය අධ්‍යක්ෂතුමියගේ සහාය ඉල්ලා සිටීමට ද මම මෙය අවස්ථාවක් කර ගන්නවා.” යැයි මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය අදහස් දැක්වුවාය.

Read more

Local News