පාස්කු ප්‍රහාරය ගැන බුද්ධි ප්‍රධානීන් දැනසිට්යාද ?

Share

ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ තමන්ගෙන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකව සිටි නිලන්ත ජයවර්ධන මහතා කිසිදු අවස්ථාවක උපදෙස් ගැනීමක් සිදුනොකළ බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා සදහන් කරයි.

 

ඊයේ (14) පස්වරුවේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂිදෙමින් හිටපු ජාතික බුද්ධි ප්‍රධානියා පැවසුවේ, නිලන්ත ජයවර්ධන මහතා වෘත්තිමය ගනුදෙනු සිදුකළේ තමන් සමඟ නොව ආරක්ෂක ලේකම්වරයා සමග බවයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබද විදෙස් බුද්ධි අංශයකින් කළ පළමු පූර්ව දැනුවත් කිරීම පිළිබඳ එවක රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සිසිර මෙන්ඩිස් මහතාට එවු ලිපිය පිළිබඳ පළමුවරට ප්‍රශ්න කරනු ලැබීය.

එහිදි මෙන්ඩිස් මහතා කියා සිටියේ, Top Secret යනුවෙන් සඳහන් කළ අදාළ ලිපිය පසුගිය වසරේ අප්‍රේල් මස 08 වන දින පෙරවරුවේ තමන්ට ලද අතර එහි සහරාන් හෂීම් ප්‍රමුඛ ජාතික තවුහිද් ජමාත් සංවිධානය නුදුරේදිම එල්ල කළ හැකි ප්‍රහාරයක් පිළිබඳ සඳහන් වු බවය.

එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකාර මෙන්ඩිස් මහතා කුමන ආගම් භක්තිකයෙක් ද යන්න විමසා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් මෙන්ඩිස් මහතා කියා සිටියේ, තමන් හොඳ බෞද්ධයෙක් වන අතර තම බිරිඳ රෝමානු කතෝලිකයෙක් බවය.

විශේෂ අවස්ථාවලදි සිය බිරිඳ දේවස්ථානයට රැගෙන යන්නේදැයි කොමිසම කළ විමසීමේ දී මෙන්ඩිස් මහතා “ඔව්“ යනුවෙන් පිළිතුරු දුන්නේය.

එවැනි වතාවරණයක් යටතේ අප්‍රේල් 08 ලද තොරතුරේ වැදගත් පල්ලි ප්‍රහාරයේ ඉලක්ක විය හැකියැයි සඳහන් වු පසුබිමක ඔබ ඒ සම්බන්ධයෙන් ගත් පියවර කුමක්ද යන්න අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් විමසා සිටියේය.

” අප්‍රේල් 08 පෙරවරුවේ ලිපිය ලද වහාම ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හමුවීමට උත්සාහ ගත්තත් එය ව්‍යර්ථ වුණා. පස්වරුවේ හමුවෙන්න අවස්ථාව ලැබුණා. එහිදී දේවස්ථානවලට ප්‍රහාර එල්ල විය හැකි බවට වූ විදෙස් තොරතුර පිළිබඳ තමන් ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළා. හෙට බුද්ධි සම්බන්ධිකරණ රැස්වීමේදි නිලන්තට මේක ගන්න කියමු ” යනුවෙන් තමන්ට හිටපු ආරක්ෂක ලේකම්වරයා උපදෙස් දුන් බව මෙන්ඩිස් මහතා කොමිසමට ප්‍රකාශ කළේ ය.

ඒ පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට දැනුම් දුන්නේ දැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙන්ඩිස් මහතාගෙන් ප්‍රශ්න කළේය.

” තමන්ට එය දැනුම්දීමට අමතක වුණා. නමුත්, ඔහු වෙත පළමුවෙන් ලද බුද්ධි තොරතුර සාකච්ඡාවට බඳුන්කිරීම රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සතු වගකීමක් බව මෙන්ඩිස් මහතා ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ ය.

එමෙන්ම ඔහු පැවසුවේ, අදාළ කරුණ බුද්ධි සම්බන්ධිකරණ රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් නොකළත් තම තමන් සතු බුද්ධි තොරතුරු පිළිබඳව බුද්ධි සම්බන්ධිකරණ රැස්වීමේ සාකච්ඡාවට බඳුන්කිරීම සාම්ප්‍රදායිකව සිදුවන බවය.

මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා මුල් බුද්ධි තොරතුර එලෙසින්ම ඔබට යොමු කිරීම හරහා ඔබෙන් යම් උපදෙසක් බලාපොරොත්තු වුණා නොවේ ද යන්නය.

” මම ජාතික බුද්ධි ප්‍රධානියා වුනාට ඔහු සිටියේ මා යටතේ නෙමෙයි. ඔහු සිටියේ ආරක්ෂක ලේකම් යටතේ. ඉතිං ඔහුට දෙන්න ඕන උපදෙස් මොනාද කියලා මම දන්නේ නැහැ. අනික රටේ බුද්ධි තොරතුරු සපයන ප්‍රධානතම ආයතනය භාරව ඉන්න ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඔහු. ඔහු කිසිදාක මගෙන් උපදෙස් ලබාගෙන නැහැ.“යනුවෙන් හිටපු ජාතික බුද්ධි ප්‍රධානියා ප්‍රකාශ කළේ ය.

එසේ නම් වඩා වැදගත් තනතුර ජාතික බුද්ධි ප්‍රධානියා ද, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක ද යන්න මෙහිදී කොමිසමේ සාමාජිකයෙකු විමසා සිටියේ ය.

ඊට පිළිතුරු දුන් මෙන්ඩිස් මහතා පැවසුවේ, ” ස්වාමිනි, ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස මම කළේ සම්බන්ධිකරණ කටයුතු පමණයි. නමුත් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ කියන්නේ රටේ බුද්ධි තොරතුරු සම්බන්ධ ප්‍රමුඛතම ආයතනය භාර නිලධාරියා.“ යනුවෙන් සඳහන් කර තිබේ.

Read more

Local News