මිලේනියම් සිටි නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් 17 වැනිදාට කැඳවයි

මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොල මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක වැඩිදුර විභාගය දෙසැම්බර් මස 17 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍යය පටබැඳිගේ මහතා නියෝග කර ඇත.

 

ඒ 2002 වසරේ ජනවාරි මස 02 වැනිදා අතුරුගිරිය, මිලේනියම් සිටි නිවාස සංකීර්ණය තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවාසයක් වටලා එහි සිටි බුද්ධි අංශ සාමාජිකයින් සහ අවි ආයුධ අත්අඩංගුවට ගැනීම තුළින් රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම, ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීම සහ රටේ ස්වෛරීභාවයට හානි සිදුකිරීම යනා දී චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

අද(25) දිනයේ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී ඇප මත මුදාහරිනු ලැබ සිටින එහි විත්තිකරු වන හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොල මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදී කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේ, මෙම නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් මස 17 වනදා යළි කැඳවන බවයි.

එදින ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කළ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතාගෙන්  සාක්ෂි විමසීමට නියමිතයි.

මෙම නඩුව මුලින්ම මහනුවර මහාධිකරණය හමුවේ ගොනුකර තිබුණ ද පසුව නීතිපතිවරයා විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව එහි විභාගය මේ වන විට කොළඹ මහාධිකරණය වෙත මාරු කර තිබේ.