DFCC බැංකුව මෙරට අංක එකේ මුදල් කළමනාකරණ සේවා සම්පාදකයා ලෙස Euromoney සම්මාන දිනයි

Share

DFCC බැංකුව පසුගියදා පැවති‘2020 Euromoney මුදල් කළමනාකරණ- මූල්‍ය නොවන ආයතන’සමීක්ෂණයේදී ශ්‍රී ලංකාවේ අංක එකේ මුදල් කළමනාකරණ හොඳම සේවා සම්පාදකයා ලෙස ඇගයීමට පාත්‍ර වීමට සමත් වූ බව පවසයි. ඒ අනුව DFCC බැංකුව මෙම සමීක්ෂණයට එක්වූ ප්‍රථම වර්ෂයේදීම මෙලෙස ඇගයීමට පාත්‍ර වීම විශේෂත්වයකි.

 

ගනුදෙනුකරුවන් විසින් මේ ආකාරයට විශිෂ්ටතම මුදල් කළමනාකරණ සේවා ලබාදෙන බැංකුව ලෙස DFCC බැංකුව තෝරාගැනීම එම සේවාවන්ගේ විශිෂ්ටත්වයට අගනා සාක්ෂියක් ලෙස හැඳින්විය හැක. මීට අමතරව මෙම සමීක්ෂණයේදී ‘Market Leader Ranking’කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකරගැනීමටද DFCC බැංකුව සමත් වීම එම බැංකුව ලැබූ තවත් සුවිශේෂී ජයග්‍රහණයකි.

1969 වර්ෂයේ ආරම්භ වූ Euromoney සඟරාව ලොව මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ ප්‍රමුඛතම සඟරාව ලෙස සැලකෙන අතර එය ලොව පුරා ප්‍රාග්ධන වෙළඳපොළවල් සම්බන්ධ තොරතුරු වාර්තා කරයි. එම සඟරාව විසින් ලොව මුදල් කළමනාකරණ කර්මාන්තය සම්බන්ධයෙන් සිදුකරනු ලබන මෙම සමීක්ෂණය මෙවර සිදුකරන ලද්දේ 19 වන වරට ය. සමීක්ෂණයට දායක වූ පුද්ගලයන්ට, ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයක් ඔස්සේ තමන් කැමති හා ඇගයීමට ලක්වීමට සුදුසු මූල්‍ය සමාගම් හා ආයතන වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි විය. මෙම වසරේ Euromoney සමීක්ෂණයට ප්‍රතිචාර 30,000 කට අධික ප්‍රමාණයක් ලැබුණු අතර එම නිසාම මෙම සමීක්ෂණය ලොව පරිපූර්ණතම හා ප්‍රමුඛතම ශ්‍රේණිගත කිරීම බවට පත්වී තිබේ.

DFCC බැංකුව මුදල් කළමනාකරණ ක්ෂේත්‍රයට පිවිසී තවමත් ගතවී ඇත්තේ වසර 3 ක් වැනි කෙටි කාලයක් පමණි. මෙවැනි කාලයක් තුළ ලොව ප්‍රමුඛතම සඟරාවක් වෙතින් මෙවැනි ඇගයීමක් දිනාගැනීමට හැකිවීම, සිය මුදල් කළමනාකරණ සේවාව වන DFCC iConnect ඔස්සේ DFCC බැංකුව ලබාදෙන සේවාවේ විශිෂ්ට ප්‍රමිතියට මනා සාක්ෂියක් ලෙස හැඳින්විය හැකි වේ.

මෙරට තුළ විශාල ජනප්‍රියත්වයක් දිනා සිටින DFCC බැංකුව ක්ෂේත්‍රයේ විශිෂ්ටතම මට්ටමේ සේවාවක් සමගින් සාමාන්‍ය ගනුදෙනුකරුවන්ට මෙන්ම විශාල, මධ්‍යම හා කුඩා පරිමාණ ව්‍යාපාර වලටද සුවිශේෂී සේවාවන් රැසක් ලබාදෙයි. මෙම සමීක්ෂණය වෙතින් ලැබුණු ඇගයීම වැනි ප්‍රමුඛ පෙළේ ඇගයීමක් මගින් DFCC බැංකුවට තම වෙළඳපොළ කොටස මෙන්ම ඉතුරුම් ගිණුම්/ජංගම ගිණුම් අනුපාතයදවර්ධනය කරගැනීමට අවස්ථාව ලැබෙනු ඇති අතර ඒ ඔස්සේ තමන් සැබැවින්ම ‘කාටත් ගැළපෙන බැංකුව’ බව නැවත නැවතත් සනාථ කිරීමට හැකිවනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය. “Euromoney සමීක්ෂණය මගින් මෙවැනි ඇගයීමක් හිමිවීම ගැන අප අතිශයින් සතුටු වනවා. අප මුදල් කළමනාකරණ ක්ෂේත්‍රයට පිවිසී තවමත් ගතවී ඇත්තේ වසර තුනක් පමණක් බව සලකන විට, මෙය අප ලැබූ සුවිශාල ජයග්‍රහණයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. අපගේ ගනුදෙනුකරුවන් මේ අභියෝගකාරී කාලසීමාව තුළ පවා අප වෙත ලබාදුන් සහයෝගය නොවන්නට අපට මෙවැනි ජයග්‍රහණයක් අත්කර ගැනීමට හැකිවන්නේ නැහැ. මෙම ඇගයීම අපට ලැබුණු වටිනාම ජයග්‍රහණයක් වන අතරම,එය අපගේ සේවාවන්ගේ ප්‍රමිතිය අඛණ්ඩව පවත්වා ගනිමින් ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීමේ වැදගත්කම නැවත නැවතත් සිහිපත් කරනවා. ඉදිරියටත් ගනුදෙනුකරුවන් අපේක්ෂා කරනවාටත් වඩා ඉහළ සේවාවක් ඔවුන් වෙත ලබාදෙමින්, තවත් මෙවැනි ජයග්‍රහණ රාශියක් අත්පත් කරගැනීම අපගේ බලාපොරොත්තුවයි.”

Read more

Local News