ටෙනිස් ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට ආ ඔසාකා හා සෙරීනා

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවෘත ටෙනිස් ශූරතාවලියේ කාන්තා කේවල ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ජපාන‍ ක්‍රීඩිකා නයෝමි ඔසාකා සහ අමෙරිකානු ප්‍රවීණ ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් සමත් වි තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඊයේ පැවැති තෙවැනි වටයේ කේවල තරගවලදී ඔසාකා හමුවේ ගාබීන් මුගුරුසාත්, සෙරීනා හමුවේ අර්යානා සබලෙන්කාත් පරාජයට පත් වූහ.

ලෝක ටෙනිස් පිටියේ අංක 3 ශ්‍රේණිගත කිරීම්වල රැඳී සිටින ඔසාකා තෙවැනි වටයේදී ලෝක ශ්‍රේණිගත කිරීම්හි 15 වැනි ස්ථානයේ පසුවන ස්පාඤ්ඤයේ ගාබීන් මුගුරුසා සමඟින් තරග වැදුණු අතර, එහිදී වට 2-1ක් ලෙස ජය ගැනීමට ඔසාකා සමත් වූවාය.

වේගවත් ආරම්භයක්ගත් මුගුරුසා පළමු වටය 6-4ක් ලෙස ජය ගත්ත ද දෙවැනි වටයට ජය ගැනීමට ඔසාකා සමත් වූවාය. තියුණු මුහුණුවරක් ගත් තෙවැනි වටයේදී ලකුණු 7-5ක් ලෙස මුගුරුසා පරාජය කිරීමට ඔසාකාට හැකි විය. ඇය 2019 වසරේ ඔස්ට්‍රේලියානු විවෘත තරගාවලියේ ශූරිය ද වන්නේය.

ඔසාකා අර්ධ අවසන් වටයේදී තායිවාන ක්‍රීඩිකා හ්සි සු චී සමඟ තරග වැදීමට නියමිතය. 35 හැවිරිදි සු චී මේ වටයට පිවිසි වයස්ගතම ක්‍රීඩිකාව බවට පත්ව තිබේ.

මේ අතර, ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි ස්ථානයේ පසු වන සෙරීනා විලියම්ස් හමුවේ බෙලරුසියානු ක්‍රීඩිකා සබලෙන්කා පරාජයට පත්වීම විශේෂත්වයකි. සබලෙන්කා ලෝක ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි තැන පසුවන ක්‍රීඩිකාවයි.