තමන් විදි දුක් ගැහැට ගැන රනිල් කියයි

Share

තමන් නානාවිධ අභියෝග හමුවේ කැපවිම් කළ බවත් එක්සත් ජාතික පක්ෂය සමඟ එකට එකතුවී ක්‍රියාකළ අනෙකුත් සියළුම දේශපාලන පක්ෂ, කණ්ඩායම් හා බහුජන සංවිධානවලට ස්තූතිය පලකරන බවත් රනිල් වික්‍රමසිහ මහතා පැවසීය.

වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වික්‍රමසිංහ මහතා වැඩ්දුරටත් අදහස් දක්වමින් ‘’ඔක්තෝබර් 26 වෙනිදා මාව අගමැති ධූරයෙන් ඉවත්කර තිබෙන බවට නිවේදනයක් නිකුත් කළා. නමුත් කිසිවෙක් ඒ වනවිට මාව ධූරයෙන් ඉවත් කර තිබුණේ නැහැ. ඒ සම්බන්ධව ලිපියක්වත් ලැබී තිබුණේ නැහැ. ඒ අනුව මා තීරණය කළා එදින රාත්‍රීය අරලියගහ මන්දිරයේ ගත කිරීමට. 2015 අගෝස්තු මාසයේදී අගමැති වුනාට පසු මගේ මතකයේ හැටියට ඒ වනවිට රාත්‍රී දෙකක් පමණයි අරලියගහ මන්දිරයේ ගතකර තිබුණේ. එදා මා රාත්‍රිය ගතකර අළුයම බලන විට විශාල පිරිසක් මන්දිරයට පැමිණ සිටියා. එදා සිට අද වන තෙක් මේ ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට ගෙන ආවේ ඔබේ කැපවීම නිසා බව මා ප්‍රකාශ කිරීමට කැමතියි.

මම විවිධ දුක් ගැහැට විදිමින් විවිධ කැපකිරීම් කරමින් එදා සිට මේ දක්වා මෙම ස්ථානයේ රැදී සිටිනවා. ඒ වගේම අඛණ්ඩව ජනතාව සහභාගි කෙරෙව්වා. අප කැදවපු රැස්වීම් වලට පැමිණියා. ගමේ උද්ඝෝෂණ කළා. ගමේ රැස්වීම් කළා. අපි හැමෝම එකට එකතුවී ඉදිරියට ගියා. එලෙස ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කැපවීමෙන් ක්‍රියාකල ඔබ සියළු දෙනාටම මගේ ස්තුතිය පළකර සිටිනවා.  ඔබ නොසිටියා නම් අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. පාර්ලිමේන්තුව නැහැ. කතානායකවරයෙක් නැහැ. මේ සියල්ල අපේක්ෂා කරමින් ජනබලයක් පෙන්වීමට හැකි වුනේ ඔබගේ කැපවීම නිසයි.

ඒ වගේම මේ සටනේ එක්සත් ජාතික පක්ෂය සමඟ එකට එකතුවී ක්‍රියාකළ අනෙකුත් සියළුම දේශපාලන පක්ෂ, කණ්ඩායම් හා බහුජන සංවිධානවලට ද මගේ ස්තුතිය පළකළ යුතුයි.

2015 ජනවාරි 08 වෙනිදා අපිට ජනතාව වරමක් දුන්නා. මොකක්ද ඒ වරම මහින්ද රාජපක්ෂ පරාජය කරන්න, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරන්න. මාව අගමැති කරන්න. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න තමයි එදා ඒ ජනවරම ලබා දුන්නේ. වෙනත් පුද්ගලයෙක් අගමැති ධූරයට පත්කරන්න ජනවරමක් දුන්නේ නැහැ. එදා රට ගොඩ ගැනීමේ වගකීම ජනතාව අපට පැවරුවා.

2015 අගෝස්තු මාසයේත් එවැනිම ජනවරමක් අපට ලැබුණා. මහින්ද රාජපක්ෂ අපට එපා කියා ඒ අවස්ථා දෙකෙහිදීම ජනතාව සනාථ කළා.  එම ජනවරමින් මෛත්‍රී ජනාධිපති ලෙසත්, මාව අගමැති ලෙසත් පත්කර ගනිමින් රටේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාම සඳහා එම ජනවරම එදා ලබාදුන්නා. අදටත් එය වෙනස් වී නැහැ’’ පැවසීය.

Read more

Local News