සෞඛ්‍ය අමාත්‍යාංශයේ වංචා ගැන හොයන්න විමර්ශන කමිටුවක්

Share

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ පැමිණිලි විභාග කිරීම සඳහා ජනාධිපති විමර්ශන කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී තවත් එකඟතාවන් රැසකට එළඹීමට හැකි වු බවද එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට පෙර කළ ඉල්ලීමකට අනූව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ඊයේ (12) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී සාකච්ඡාවක් පැවැත්විය.

අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසූවේ සෞඛ්‍ය පද්ධතිය තුල පසුගිය වසර හතර තුල සිදු වී ඇති දුෂණ වංචා සම්බන්ධයෙන්, විශේෂයෙන්ම ඖෂධ නීතිගත සංස්ථාව හරහා සිදු වී ඇති වංචා දුෂණද ඇතුළුව මේ සියල්ල රටට හෙලි කිරීමට බලාපොරොත්තු වන බවයි.

පසුගිය වසර හතර තුල සමස්තයක් ලෙස සිදු වී ඇති මෙම දුෂණ සෙවීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමටද ජනාධිපතිවරයා එකඟ වූ බවත් ඔහු පැවසීය.

Read more

Local News