විජේවීර ඉල්ලා බිරිඳ ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේපයි

Share

අතුරුදන්ව සිටින ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ චිත්‍රාංගනී විජේවීර මහත්මිය විසින් ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

දීපාලී විජේසුන්දර සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේ පසුගිය 11 වන දිනයි.

මෙම පෙත්සම විභාගයට ගැනීමට තරම් සාධාරණ පදනමක් නොමැති බව තීන්දු කළ අධිකරණය ඒ අනුව පෙත්සම ප්‍රතික්ෂේප කරන බව නිවේදනය කළේය.

පෙත්සම්කාර විජේවීර මහත්මිය තම පෙත්සමෙන් සඳහන් කර තිබුණේ තම සැමියා වන රෝහණ විජේවීර මහතා 1989 කාල සීමාවේ රජයේ ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මේ දක්වා අතුරුදන්ව සිටින බවයි.

මේ හේතුවෙන් අතුරුදන්ව සිටින විජේවීර මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කාර විජේවීර මහත්මිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

Read more

Local News