ජනපති හා කෙන්යා ජනපති හමුවෙයි

Share

නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට සහභාගීවීම සඳහා ගිය ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතා අතර හමුවක් ඊයේ (14) පස්වරුවේ සිදු විය.

මෙහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර අනතුරුව රාජ්‍ය නායක දෙපළ සුහද කථා බහකට එක් විය.

එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරය ඉතා සාර්ථක අන්දමින් සංවිධානය කර තිබීම පිළිබඳ සිය සතුට පළ කළ ජනාධිපතිවරයා සමුළුවේ දී ගත් තීන්දු තීරණ ඉදිරියට කි‍්‍රයාවට නැංවීම සඳහා සාමාජික රටක් ලෙස ශ‍්‍රී ලංකාව උපරිමයෙන් කැපවී කටයුතු කරන බව සඳහන් කළේය.

සමුළුව අමතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිදුකළ දේශනය ඇගැයීමට ලක් කළ කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතා පරිසර හිතකාමී නායකයෙකු ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ වැඩපිළිවෙළ ඇගැයීමට ලක් කළේය.

කෙන්යා විදේශ කටයුතු ඇමතිනි Monica Juma මහත්මිය පසුගියදා ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර එහිදී දෙරටේ විදේශ අමාත්‍යවරු අතර පැවති සාකච්ඡාවලදී දෙරට අතර ඇතිකරගත් සහයෝගිතාවයන් ඉදිරියට කි‍්‍රයාවට නැංවීම පිළිබඳව ද නායකයන්ගේ අවධානය යොමු විය.

1970 වසරේ දී නිල රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා පිහිටුවාගත් ශ‍්‍රී ලංකාව සහ කෙන්යාව අතර පවතින්නේ මිත‍්‍රශිලි සබඳතාවයකි.

දෙරට ම පොදුරාජ්‍ය මණ්ඩලයේ හා ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සාමාජික රටවල් වෙති.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මෙම සංචාරයත් සමඟ දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවය ඉදිරියේ දී වඩාත් පුළුල් වනු ඇති බවට කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතා විශ්වාසය පළ කළ අතර, ජාත්‍යන්තර තලයේ දී දෙරටම සහයෝගයෙන් කටයුතු කිරීමට ද නායකයෝ සහතික වූහ.

මේ අතර රුවන්ඩා අග‍්‍රාමාත්‍ය Edouard Ngirente මහතා  සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර කෙටි හමුවක් ද අද නයිරෝබි නුවර දී සිදු විය.

Read more

Local News