ඉකුත් ජනාධිපතිවරණය සමයේ එවකට ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සඳහා තම බස් රථ යොදා ගැනීමෙන් සිදු වූ රුපියල් මිලියන 140 ක අලාභය අය කර දෙන මෙන් ඉල්ලා ලංකා ගමනාගමන මණ්ඩලය විසින් කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවකට එරෙහිව ඉදිරිපත් කර තිබූ අභියාචනයක් ජූනි මස 13 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා විසින් ඉදිරිපත් කර තිබූ එම අභියාචනය අද (26) අග විනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවේය.
එහිදී විනිසුරුවරු නියෝග කළේ මෙම අභියාචනා පෙත්සම ජුනි මස 13 දා සලකා බලන බවයි.
ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුවේ වගඋත්තරකරුවන් ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා යන අය නම් කර තිබුණේය.
එහෙත් පසුව ඔවුන්ව නඩුවෙන් මුදාහැරීමට වාණිජ මහාධිකරණය නියෝග කර තිබුණී.
වාණිජ මහාධිකරණය විසින් කළ එම නියෝගය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගාමිණී සෙනරත් මහතා විසින් මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.