ලෝක කාලගුණ විද්‍යා සංගමයේ නවතම වාර්තාව මෙන්න

Share

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමෙන් ඇතිවී තිබෙන භෞතික මෙන්ම, මූල්‍යමය බලපෑම වේගවත් වෙමින් පවතින බව ලෝක කාලගුණ විද්‍යා සංගමය නවතම වාර්තාවකින් අවධාරණය කරයි.

වාර්තාගත ලෙස වායුගෝලයට මුදාහරින හරිතාගාර වායූන් හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය අතිශය දරුණු මට්ටම් දක්වා ළඟා වෙමින් පවතින බව ඔවුන් පෙන්වා දෙයි.

2018 වසරේදී කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වාර්තාගත මට්ටමක පැවති බවට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය වාර්තාවක් නිකුත් කිරීමෙන් අනතුරුව ඔවුන්ද ලෝක කාලගුණ විද්‍යා සංගමයේද වාර්තාව මේ ආකාරයෙන් අනතුරු අඟවයි.

වර්ෂ 1993 දී මුලින්ම වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම ගණනය කිරීමේදී එය පරිමාවෙන් මිලියනයකට කොටස් 357ක් විය. කෙසේ වෙතත්. මේ වනවිට එය 405.5ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය තවදුරටත් ඉහළ යමින්ද පවතී.

මෙය ගෝලීය උෂ්ණත්වය කෙරෙහි දැඩි බලපෑමක් කළ හැකි සාධකයක් වන අතර, 2018 වසර ගෝලීය කාලගුණික දත්ත අනුව සිව්වැනි උණුසුම්ම වසර බවට පත්වූයේද එබැවිනි.

ඒ අනුව, ලෝකය මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර නොගතහොත්, මෙම අහිතකර ප්‍රවණතාව සමග හදිසි ගංවතුර, සුළි කුණාටු, දැඩි නියඟය, ලැව්ගිනි ආදී බරපතළ ස්වභාවික විපත්වලට ඉදිරියේදී තවදුරටත් ලෝක ජනතාවට මුහුණ දීමට සිදුවිය හැකි බව එම වාර්තාව වැඩිදුරටත් අනතුරු අඟවයි.

Read more

Local News