දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්නේ නෑ

Share

කුමන වටපිටාවක් තුළ දී වුවද පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම  ඉඩ තැබිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දෙයි. 

ඇතැම් කණ්ඩායම් රට අකර්මණ්‍ය කොට දේශපාලන වාසි අපේක්ෂාවෙන් බලා සිටි මොහොතක රජය ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කැපවී ක්‍රියා කළ බව පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍යවරයා පාසල් නැවත ආරම්භ කොට දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීමට තමා කටයුතු කරන විට එයටද  විවිධ බලපෑම් එල්ල කළ කණ්ඩායම් විසින්ම තමන්ගේ තීරණය අගය කරමින් සිටීම සතුටට කරුණක් බවද පැවසීය.

ඒ පසුගියදා (18) අමරපුර සංඝ සභාවේ මහනායක ,ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ‍්‍රී ති‍්‍රපිටක විශාරද අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක ස්වාමින් වහන්සේගේ සුවදුක් විමසීම සඳහා ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයට  පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින්.

මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් එළඹෙන අඟහරුවාදා ආරක්ෂාව තහවුරු බව පෙන්වමින් පාසල් වෙත යාමට සූදානම් වන බවත් ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයාගේ මතය කුමක්දැයි මෙහි දී මාධ්‍යවේදියා ප්‍රශ්න කර සිටියේය.

රටේ උන්නතිය සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමා සැමවිටම නොබියව තීන්දු තීරණය ගත් බවත්, ඊට එරෙහිව දේශපාලන වාසි අපේක්ෂාවෙන් ක්‍රියා කළ ඇතැම් කණ්ඩායම් තව දුරටත් එම ක්‍රියාවෙහි නිරත වන බවද පැවසූ අමාත්‍යවරයා සියල්ලටම එක්වී රටේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කිරීමට හැකිනම් හැකි නම් ඒ පිළිබඳ තමන් ද සතුටට පත්වන බව වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Read more

Local News