මෙරට මෝටර් රථ ලියාපදිංචිය 18%කින් පහළට

Share

පසුගිය අප්‍රේල් මාසයේ දී මෙරට ලියාපදිංචි කර ඇති නව මෝටර් රථ සංඛ්‍යාව 28,599 ක් බව JB Securities ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.

මෙය 2019 මාර්තු මාසයට (35,150) වඩා 18% ක පහළ යාමකි. එසේම 2018 අප්‍රේල් මාසයේ දී ලියාපදිංචි කර තිබෙන 41,151 ක්වූ මෝටර් රථ ප්‍රමාණය හා සැසඳීමේ දී 30% ක අඩුවීමකි.

මේ අතර ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් ලියාපදිංචිය සඳහා ඉදිරිපත් වන රථවාහන වර්ගය වන මෝටර් සයිකල් ලියාපදිංචිය 26,851 සිට 22,753 දක්වා ද, ත්‍රීවීල් රථ ලියාපදිංචිය 2,192 සිට 1,068 දක්වා ද අප්‍රේල් මාසය තුළ දී පහළ ගොස් ඇත.

එමෙන්ම මාර්තු මාසයේ දී 2,960 ක්වූ මෝටර් කාර් ලියාපදිංචිය අප්‍රේල් මාසය වන විට 2,120 දක්වා අඩු වී තිබෙන අතර මෙහිදී වෑන් රථ 632 සිට 529 දක්වා ද, SUV 488 සිට 432 දක්වා ද ලියාපදිංචිය අඩු වී තිබේ. මේ අතර සැහැල්ලු ට්‍රක් රථ 252 සිට 163 දක්වා සහ පිකප් රථ 127 සිට 72 දක්වා ලියාපදිංචිය පහළ ගොස් තිබේ.

අලුත්ම තත්ත්වයේ (Brand New Motor Cars) මෝටර් කාර් ලියාපදිංචිය වාර්ෂික පදනම මත 64.3%කින් හා මාසික පදනම මත 26.8%කින් 2018 අප්‍රේල් මාසය තුළ දී අඩු වී ඇත. 2019 අප්‍රේල් මාසයේ ලියාපදිංචි කර ඇති අලුත්ම මොටර් කාර් සංඛ්‍යාව 309 ක් වන අතර මාර්තු මාසයේ දී මෙම ප්‍රමාණය 422 ක් ලෙසත් 2018 අප්‍රේල් මාසයේ දී මෙම අගය 866ක් ලෙසත් වාර්තා වේ.

මේ අතර මෙම වාර්තාවට අනුව 2019 අප්‍රේල් මාසයේ දී ලියාපදිංචි කර ඇත්තේ එක් අධිසුඛෝපභෝගී මෝටර් කාර් රථයක් පමණි. එය BMW i8 රථයකි. 1,500cc කාණ්ඩයේ මෙම රථයේ සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 24.12 ක් ලෙසින් වාර්තා වී ඇත.

Read more

Local News