ආණ්ඩු පත් වන්නේ කෝටිපති ව්‍යාපාරිකයින් ආරක්ෂා කරන්නද ?

Share

මත්තල ගුවන් තොටුපළ අසළ ඉඩම් විවිධ පුද්ගලයින්ට ලබා දෙන බවට ඇතැමුන් තමන්ට චෝදනා කර ඇති බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එය ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා පැවසුවේ තමන් ඉඩම් බෙදා දෙන්නේ ප්‍රේමදාස පවුලේ කිසිවෙකුට නොව මෙරට නිවාස නොමැති අසරණ ජනතාවට බවයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, ලුණුගම්වෙහෙර, පහළ මත්තල ප්‍රදේශයේ ඉදිකළ“ඇත්රජගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ (27) සහභාගී වෙමිණි.

“සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 192 වන ආදර්ශ ගම්මානය මෙය වේ.

“ඇත්රජගම” උදා ගම්මානය නිවාස 68කින් සමන්විත වන අතරඑය අංගසම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ589කි.

පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.

උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන්68 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය හා රුපියල් ලක්ෂ408 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 68 ක හිමිකම නොමිලේ ලබාදීම,ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 500 කට රුපියල් ලක්ෂ 1,000 ක් වටිනා ‘විසිරි නිවාස ණය’,පවුල් 50 ක් සඳහා රුපියල් ලක්ෂ 250 ක් වටිනා‘ග්‍රාමශක්ති’ නිවාස අධාර,ප්‍රතිලාභීන් සඳහා රුපියල් ලක්ෂ 29 ක් වටිනා‘විරුසුමිතුරු’ නිවාස අධාර,දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 45 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි, සින්නක්කර ඔප්පු, ස්වයං රැකියා ණය සහ නිවාස සමිතිය සඳහා පුටු ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.

එමෙන්ම නොමිලේ වකගඩු රෝගී සායනයක් සහ දේශීය වෛද්‍ය සායනයක්ද පැවැත්විය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ පසුගිය පාලකයින් මත්තල ගුවන් තොටුපළට ආසන්න ඉඩම් අගනුවර කෝටිපති ව්‍යාපාරිකයින්ට බෙදා දීමේ ඉඩම් මංකොල්ලයකට පිඹුරුපත් සකස් කළ බවත්, මෙරට ඉඩම් සම්පත මංකොල්ලකෑමට වත්මන් රජය කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බවත්ය.

නිවාස නොමැති ජනතාවට එම ඉඩම් ලබාදී උදා ගම්මාන ඉදි කිරීමට වත්මන් රජය කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ආණ්ඩු පත් වන්නේ කෝටිපති ව්‍යාපාරිකයින් ආරක්ෂා කිරීමටද, පාලකයින්ට ඉඩම් මංකොල්ලය සිදු කිරීමටද, නැතහොත් මෙරට දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් සේවාවන් සිදු කිරීමටද යන්න තීන්දු කිරීමට ජනතාවට අද කාලය පැමිණ ඇති බවද අමාත්‍යවරයා එහි පැවසීය.

Read more

Local News