ලංගම සේවකයිනුත් වර්ජනය කරයිද ?

Share

ශ‍්‍රී ලංගම සේවකයින් වෘත්තීය ක‍්‍රියාමාර්ගයන්වලට පොළඹවන්නේ නැතිව කළමනාකාර සේවා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ චක‍්‍රලේඛනයට අනුව ශ‍්‍රී ලංගම සියලූම සේවකයින්ගේ වැටුප් සංශෝධනය කිරීමට කඩිනමින් මැදිහත්වන ලෙස ඉල්ලා සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය විසින් මුදල් අමාත්‍යාංශයේ කළමනාකාර සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාට ලිපියක් යොමු කර ඇත.

2006 අංක 30 දරණ කළමනාකාර සේවා චක‍්‍රලේඛයට සහ 2016 අංක 02 දරන චක‍්‍රලේඛයට අනුව ශ‍්‍රී ලංගම සියලූම සේවකයන්ගේ වැටුප් සංශෝධනය කරන බවට හිටපු ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ හිටපු ශ‍්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා ඇතුළු ප‍්‍රවාහන බලධාරීන් ශ‍්‍රී ලංගම සියලූම වෘත්තීය සමිතිවලට 2018.08.31 වන දින ලිඛිතව පොරොන්දු වු බව එම ලිපියේ සඳහන් වේ.

මෙම පොරොන්දු ඉටු නොකළහොත් කිසිදු දැනුම් දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා පිවිසෙන බව සියලු වෘත්තීය සමිති විසින් ප්‍රවාහන බලධාරීන්ට දැනුවත් කරණ බවද එහි සඳහන් විය.

2018.08.31 වන දින දුන් මෙම පොරොන්දුව මේ වනවිට කඩවී ඇති බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය පවසයි.

ශ‍්‍රී ලංගම රියදුරු, කොන්දොස්තර, කාර්මික යන සේවකයන්ගේ වැටුප් තල  පී.එල්. කාණ්ඩය යටතේ ස්ථාපිත කර ඇත.

නමුත් විධායක ශ්‍රේණියේ  නිලධාරීන්ට සහ විධායක නොවන නිලධාරීන්ට මෙම වැටුප් තලය මෙතෙක් පිහිටුවා නොමැති බව ඔවුන් සඳහන් කරයි.

මෙම ක‍්‍රියාව එම සේවකයින්ට කරන ලද බරපතල අසාධාරණ ක‍්‍රියාවක් බවත් මෙම තත්ත්වය තවදුරටත් ක‍්‍රියාත්මක වුවහොත් එම සේවකයින්ට සාධාරණය, යුක්තිය ඉටු කිරීමට ශ‍්‍රී ලංගම සියලූම වෘත්තීය සමිතිවලට අනිවාර්යයෙන් වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවත් ඔවුන් අවධානය කරයි.

මෙම ක‍්‍රියාවලිය විධිමත්ව සිදු නොකිරීම නිසා 2019 අයවැය ලේඛනය තුළින් 2019 ජූලි මාසයේ සිට රජයේ සේවකයන්ට ලබාදීමට නියමිත රුපියල් 2500/= අන්තර් දීමනා මුදල ශ‍්‍රී ලංගම සේවකයින්ට ලබානොදෙන බවට තම සංගමයට තොරතුරු ලැබී ඇති බවද ඔවුන් පවසයි.

ශ‍්‍රී ලංගම ප‍්‍රධාන කාර්යාලයේ සිටින ඇතැම් නිලධාරීන්ගේ බලපෑම මත මුදල් අමාත්‍යාංශයේ කළමනාකාර සේවා දෙපාර්තමේන්තුවේ සේවය කරන ඇතැම් නිලධාරීන් ශ‍්‍රී ලංගම සේවකයන්ට මෙම වැටුප් සංශෝධනය සිදුකිරීමේ ක‍්‍රියාවලිය ප‍්‍රමාද කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ගයන් ගනිමින් සිටින බවදට තොරතුරු ලැබී ඇති ඔවුන් සඳහන් කරයි.

එම නිසාම ශ‍්‍රී ලංගම සේවකයින්ට වැටුප් ක‍්‍රමවේදයන් දෙකකට ඔවුන්ට වැටුප් ලබාදීම නිසා බලවත් අසාධාරණයක් සිදුවී ඇති බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය පෙන්වා දෙයි.

ශ‍්‍රී ලංගම සේවකයින් වෘත්තීය ක‍්‍රියාමාර්ගයන්වලට පොළඹවන්නේ නැතිව 2006 අංක 30 දරණ කළමනාකාර සේවා චක‍්‍රලේඛයට සහ 2016 අංක 02 දරණ චක‍්‍රලේඛයට අනුව සියලූම සේවකයන්ගේ වැටුප්තල පිහිටුවීමට කඩිනමින් මැදිහත්වන ලෙස තම සංගමය ගෞරවයෙන් ඉල්ලා සිටින බව ද අදාල ලිපියේ සඳහන් වේ.

Read more

Local News