ක්වබෙක් අධ්‍යාපන ඇමතිගේ මලාලා සමග ඡායාරූපයට විවේචන

Share

කැනඩාවේ, ක්වබෙක් ප්‍රාන්තයේ අධ්‍යාපන අමාත්‍යවරයා මලාලා යූසෆ්සායි සමග එක්ව ගත් ඡායාරූපයකට විවේචන එල්ල වෙමින් පවතී.

මෙම ක්වබෙක් ප්‍රාන්තය මෑතකදී නව නීතියක් සම්මත කරමින්, රජයේ සේවකයන්ට තම ආගමික අනන්‍යතා නිරූපණය කෙරෙන කිසිදු ඇඳුමක් ඇඟලාගෙන රාජකාරියට පැමිණීම තහනම් කරන ලදී.

ඒ අනුව, නොබෙල් සාම සම්මානයෙන් පිදුම් ලැබූ මලාලා, ක්වබෙක් අධ්‍යාපන අමාත්‍යවරයා සමග සිටින ඡායාරූපයේ ඇය හිස ආවරණයක් පැළඳ සිටීම මෙම විරෝධයට හේතු වී ඇත.

අධ්‍යාපනයට සහ ජාත්‍යන්තර සංවර්ධනයට අවශ්‍ය පිවිසුම සම්බන්ධයෙන් මලාලා සමග සාකච්ඡා කළ බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසා තිබුණි.

කෙසේ වෙතත්, යම් ලෙසකින් මලාලා කැනඩාවේ ගුරු වෘත්තියකට සහභාගී වුවහොත් ඇයට ගුරුවරියක් ලෙස ආගමික සංකේත ඇඟලුම්වලින් සැරසී රාජකාරී කිරීමට අවස්ථාවක් නොමැති බව සඳහන් කළ බව අමාත්‍යවරයා පවසා තිබුණි.

මලාලා 2012 වසරේදී තලේබාන් ප්‍රහාරයකට ලක්වූයේ පාසල් අධ්‍යාපනය ලැබීමට උත්සාහ කළ නිසාය. කෙසේ වෙතත්, ජීවිතයත් මරණයත් අතර සටනකින් දිවි ගලවාලත් මලාලා, මේ වනවිට අධ්‍යාපන අවස්ථා නොලබන දැරියන් වෙනුවෙන් කටයුතු කරන ජාත්‍යන්තර තලයේ ක්‍රියාකාරිනියකි.

Read more

Local News