වෛද්‍ය ෂාෆිගේ ප‍්‍රශ්නය වහා විසඳිය යුතුයි – පාඨලී

Share

සංඛ්‍යාන අධ්‍යනයකින් වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ගේ ප‍්‍රශ්නය වහා විසඳිය යුතු බව මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ, හෙට්ටිපොළ පඬුවස්නුවර සතිපොළ සහ බහුකාර්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට පැවරීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා පිළිබඳ ගැටළුව සතියකින් විසඳිය හැකි බවත් ය.

එම ගැටළුව අධිකරණ හමුවේ වසර ගණනක් රස්තියාදු වෙමින් නීති තර්ක මතු කරමින් විසඳාගත යුතු ගැටළුවක් නොවන බවත් වෛද්‍ය සභාව සහ රජය විසඳිය යුතු කරුණක් බවත් අමාත්‍යවරයා පැවසීය.

තවද චෝදනා ලබා සිටින ෂාෆි වෛද්‍යවරයාට අමතරව ශ‍්‍රී ලංකාවේ සිසේරියන් සැත්කම් කළ අනෙකුත් සිංහල දෙමළ වෛද්‍යවරුන්ගේ දත්ත රැස්කර ඒවා සසඳා විශ්ලේෂණය කිරීම මගිනුත් මෙම ගැටළුව නිරාකරණය කර ගත හැකි බව ද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

සරලව කිවහොත් ෂාෆි වෛද්‍යවරයා සහ අනෙකුත් සිංහල දෙමළ වෛද්‍යවරුන්ගේ සිසේරියන් සැත්කම්වලින් පසුව එම සැත්කම්වලට භාජනය වූ මව්වරුන්ට නැවත දරුවන් නොලැබී යාමේ සම්භාවිතාව සහ එම ප‍්‍රතිශත සිංහල දෙමළ හා මුස්ලිම් හැටියට කොපමණ ද යන්න පිළිබඳ විද්‍යාත්මකව පැහැදිලි කියවීමක් කිරීමෙන් මෙම ප‍්‍රශ්නය විසඳා ගත හැකි බවද අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම මෙය සංඛ්‍යාන දැනුම ඇති විශ්ව විද්‍යාලයක සිටින ඕනෑම අයෙකුට සතියකින් විසඳාගත හැකි කාරණාවක් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙය වහාම විසඳිය යුතු බැරෑරුම් ගැටළුවක් මන්ද යත් කාන්තාවකට ගර්භාෂය නැති කරනවා යන චෝදනාව සිංහල බෞද්ධයින්ට පමණක් නොවෙයි ලොව ඕනෑම ජාතියකට තම අනාගත පරම්පරාව නැති කරනවා යන හැඟීම ඇතිකරවන සංවේදී කාරණයක් බවද ඔහු අවධාරණය කරයි.

මෙවැනි සංවේදී ගැටළුවක් ක්‍ෂණිකවම ඒ වගේම සාධාරණව විසඳිය හැකිව තිබියදී එය උසාවි මාර්ගයට ගෙනගොස් මාස ගණනක් පුරාවට එම කි‍්‍රයාවලිය දිගු වීමට හැර, මුස්ලිම් වෛද්‍යවරුන් පිළිබඳවත්, මුස්ලිම් ජනතාව පිළිබඳවත් සිංහල, බෞද්ධ සමාජය තුළම බිය සැකයක් ඇතිකිරීමට ඉඩ නොදී අදාල ආයතන හා පුද්ගලයින් ඉදිරිපත්ව මෙය වහාම විසඳීමට කටයුතු කළ යුතු යැයි පැවසීය.

Read more

Local News