නීතිඥ සංගමයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

Share

සීමා නිර්ණය වාර්තාව ඉදිරිපත් වී නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳව ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති මත විමසුමට අදාළ නීතිමය ලිඛිත දේශන තිබේනම් ඒවා අගෝස්තු මස 21 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත යොමුකර ඇති ලිපියකින් සඳහන් කර තිබෙන්නේ සීමා නිර්ණය පිළිබඳ වාර්තාව ඉදිරිපත් වී නොමැති අවස්ථාවක පැරණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති නීතිමය ඉඩකඩ පිළිබඳව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 (1) වගන්ති යටතේ ශ්‍ර්ෂ්ඨොධිකරණයේ මතය විමසීමක් සිදු කර ඇති බවයි.

ඒ අනුව මෙම කරුණට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයින්ට ද ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබෙන බව එම ලිපියෙන් පෙන්වා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා එම ලිඛිත දේශන මේ මස 21 වන දා දහවල් 12.00 පෙර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා විසින් යොමු කර ඇති මෙම මත විමසීමට අදාළ විභාගය මේ මස 23 දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිත අතර එහි  තීරණය මේ මස 30 වන දාට පෙර ජනාධිපති වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Read more

Local News