රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධිය පිළිබඳ සාක්ෂි වසන් කළේ යැයි චෝදනා කරමින් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීන් මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව ඔක්තෝබර් මස 3 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.
මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේ ඊට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන බවට විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පසුගිය නඩු දිනයේ ප්‍රකාශ කර තිබුණි.
එහෙත් අද නඩුව කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා සඳහන් කළේ ඒ මහතා වෙනත් නඩුවක් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින බවයි.
මෙය ඉතා සතුටුදායක තත්ත්වයක් බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා අද දින මූලික විරෝධතා සඳහා නියම කරනු ලැබුවේ විත්තියේ නීතිඥවරයාගේ ඉල්ලීම අනුව බව කියා සිටියේය.
ඒ අනුව මෙම මූලික විරෝධතා පිළිබඳ කරුණු දැක්වීම ඔක්තෝබර් මස 03 වනදා තෙක් කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
2012 වසරේ මැයි මස 17 වනදා කොළඹ, නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය ඉදිරිපිට පිලිස්සෙමින් තිබූ වාහනයක තිබී මියගිය වසීම් තාජුදීන්ගේ මළ සිරුර සොයාගෙන තිබුණි.
මෙම මළ සිරුරට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම විත්තිකාර සමරසේකර මහතා වෙත පැවරී තිබුණ ද ඔහු එම කාර්යයට සක්‍රීය ලෙස දායක නොවී ඔහුගේ කනිෂ්ඨ වෛද්‍යවරු දෙදෙනෙකු ලවා එය සිදු කොට ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය විය.
පසුව මෙම මළසිරුරට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමේදී ඉන් ඉවත් කරගත් වැදගත් අස්ථි කොටස් දෙකක් අස්ථානගත කොට මෙම පරීක්ෂණයට අදාල වැදගත් සාක්ෂියක් විනාශ කළේ යැයි චෝදනා කරමින් වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා එල්ල කර ඇත.