මම උපවාසයේ යෙදෙන අබාධිත රණවිරුවන් බලන්න යන්නෑ – මංගල

Share

ආණ්ඩුව ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රශ්නය විසඳාගෙන යන බැවින් තමන් කිසිවිටෙක කොටුව දුම්රියපළ ඉදිරිපිට උපවාස කරන හමුදා සාමාජිකයන් හමුවීමට නොයන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදි  අද (19) ඔහු මේ බව පැවසීය.

මෙවැනි ප්‍රශ්න පාරට බැස විසඳාගතයුතු ප්‍රශ්න නොවන බවත්,ආණ්ඩුව  හමුදා සාමාජිකයන්ගේ ප්‍රශ්නය විසඳීමට පියවර ගෙන තිබෙන බව දැනගෙන එක්තරා දේශපාලන කණ්ඩායමක් දේශපාලන වාසි ලබාගැනීම සඳහා උපවාසය අරඹා තිබෙන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

අර්ධ ආබාධිත සෙබලුන් විශ්‍රාම ගිය පසුව විශ්‍රාම වැටුපට අමතරව වැටුපින් 75%ක් ලබාදීමට මුදල් අමාත්‍යංශය කටයුතු කරගෙන යන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා,

“මෙම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරලා නැහැ සතියක් නිරීක්ෂණ සඳහා කල් ඉල්ලා තිබෙනවා. රජයේ සේවකයන්ට වැඩකරපු මෙවැනි ආණ්ඩුවක් තවත් නැහැ. විපක්ෂයේ අයට රණවිරු ප්‍රශ්නය මතක් වෙන්න ඉස්සෙල්ලා අපේ අවධානය යොමු කළා. ආබාධිත රණවිරුවන් පිරිසක් මාස එක හමාරකට විතර ඉස්සෙල්ලා මාතරට ඇවිල්ලා මාව හමුවුණා. ඒ අයට මං ඇහුන්කන් දුන්නට පස්සේ ඒ අයට සාධාරණ දුක්ගැන්විල්ලක් තිබෙන බව මට තේරුණා.

දැන් තියෙන ක්‍රමය යටතේ පූර්ණ ආබාධිතයෙක් වුණොත් විතරයි තමන්ගේ පඩිය පැංෂන් ගියාට පස්සේ ජීවිතාන්තය දක්වා ලැබෙන්නේ. අර්ධ ආබාධිතයන්ට  විශේෂ බෙහෙත් ඕන.වෙන අයගෙ උදවු ඕන.ගෙදර සාත්තුකරුවන් තියාගන්න වෙනවා. අපි හිතනවාට වඩා ඒ අයගෙ ජීවිත කාලයත් කෙටි වෙන්න පුළුවන්. එදාම මම කිව්වා අපි මේ ගැන ආරක්ෂක අමාත්‍යංශය එක්ක කතාකරලා දෙනවා කියලා. මුදල් අමාත්‍යංශය හැටියට සමරතුංග මහතා සමඟ සාකච්ඡා කරලා අර්ධ ආබාධිත සෙබලුන්ටත් විශ්‍රාම ගියාට පස්සේ ඉතුරු ජීවිත කාලයට රජයෙන් විශ්‍රාම වැටුපට අමතරව පඩියෙන් 75%ක් ලබාදෙන්න මම යෝජනා කළා.

ඒ අනුව ආරක්ෂක අමාතංශ්‍ය යෝජනා එවලා තිබෙනවා.ඒක අන්තිම මොහොතේ ආවේ.ඒකට ධනාත්මක ප්‍රතිචාරයක් සතියකින් ලබාදෙන්න පුළුවන්. කවදාවත් පාරට බැස්සොත් මම ඒ අය එක්ක කතාකරන්නෑ. මේවා පාරට බහින්නැතිව විසඳන්න පුළුවන් ප්‍රශ්න. ඇත්ත කතාව තමයි මේක විසඳලා තිබුණු ප්‍රශ්නයක්.ආණ්ඩුව මේකට ඉතා යහපත් ප්‍රතිචාරයක් දක්වනවා කියලා එක්තරා දේශපාලන කණ්ඩායමකට ආරංචි වුණා.ඒ නිසා ඒකට ඉස්සෙල්ලා පාර බැහැලා දැන් කියන්න හදනවා ඔන්න අපි තමයි අරන් දුන්නේ කියලා. ඒ බොරුව දැන් කියන්න යන්නේ. මමනම් ඒ අය ළඟට ගිහින් හම්බුවෙන්නෑ. නමුත් ඒ අයගේ ඉල්ලීම ඉටුකරනවා” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News