16 වෙනිදාට කළ යුතු දේ අගමැති කියයි

Share

රටේ ආරක්‍ෂාව හා පුද්ගලික නිදහස රැකගැනීමට අවශ්‍ය නම් දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ සඳහා නොවැම්බර් 16 වැනිදා හංසයා ඉදිරියේ කතිරය ගසා සජිත් ප්‍රේමදාස මහතා රටේ ජනාධිපති ධූරයට පත් කර ගත යුතු බව ඒ මහතා ඊයේ (08) කොළඹ දී පැවසීය.

එසේ නොවුණහොත් සිදුවන්නේ රටේ ජාතික ආරක්‍ෂාවට මුවාවී, ජනතාවගේ නිදහස නැති කරන ඒකාධිපති කණ්ඩායමකට බලය හිමිවීම බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (08) දින කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවැති විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී උසස් අධ්‍යාපනය ඇතුලූ අනෙකුත් ක්ෂේත්‍රයයන්හි ප්‍රගතිය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරු සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සංවාදයක් ද පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

“2015 ජනවාරි 08 වෙනිදායින් පසු නිදහස් සමාජයක් ඇති කිරීමට අපි සියලූ දෙනා එකතු වී කටයුතු කළා. ඒ හරහා ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීමටත්, පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමටත් අපට හැකි වුණා.

මෙම ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවේ බලය තවත් වර්ධනය වීමට නියමිතයි. අප ඇති කළ වැඩපිළිවෙළ නිසා අධිකරණයේ ස්වාධීනත්වය ඇති වුණා. මේ සියල්ල සිදු කළේ අවුරුදු 5 ක් වැනි කෙටි කාල සීමාවක් තුළයි.

මෙම ක්‍රමවේදය තවත් වසර 05 ක් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට නොහැකි වුණොත් රට නැවත පසුපසට යාම වැළැක්විය නොහැකියි. ඒ අනුව රට අදුරු යුගයකට ගමන් කිරීම අනිවාර්යයි. ඒ නිසා අපි නැවත අඳුරු යුගයකට ගමන් කරනවාද, එසේ නැත්නම් තවත් ඉදිරියට ගමන් කරනවා ද යන්න තීරණය කළ යුතුයි.

ප්‍රජාතන්ත්‍රවාදය තවත් ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ඉදිරියේ දී අපි ගනු ලබනවා. අලූත් ව්‍යවස්ථාවක් ගෙන ඒම පිළිබඳව ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රකාශයේ ද සඳහන් කර තිබෙනවා. භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගනිමින් ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදීම අපේ අරමුණයි.

උතුරේ ජනතාවට දේශපාලන විසඳුමක් ලබාදීම වෙනුවෙන් අප කැපවී සිටින අතර එහිදී රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරු ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගනිමින් එම කටයුතු සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

නමුත් අපේ එම ක්‍රියාදාමය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බිය වී සිටින්නේ ඇයි දැයි  ගැටලූ සහගතයි. අප ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන දේශපාලන විසඳුම සඳහා එතුමාගේ යෝජනාත් සැලකිල්ලට ගැනීමට සූදානම් වන විට ඒ සම්බන්ධයෙන් බියවන්නේ ඇයිදැයි අප ප්‍රශ්න කර සිටිනවා. ඔහු එදා ඉදිරිපත් කළ යෝජනා රටට අහිතකර බව දැන් කියනවා නම් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා දේශපාලනයෙන් ඉවත් විය යුතුයි.”

Read more

Local News