අපි අපේ මුළු ජීවිත කාලෙම මල්ලිත් එක්ක හිටියා – විලියම් කුමරු

Share

සසෙක්ස් ආදිපාදවරයා සහ ආදිපාදවරිය යන ගෞරව නාමයෙන් හැඳින්වෙන බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් මාකෙල් බ්‍රිතාන්‍ය රජ පවුලෙන් ඉවත් වීමට ඉකුත් දා (9) තීරණය කළහ. බ්‍රිතාන්‍ය රජ කිරුළට උරුමකම් කියන 6 වැනියා හැරී කුමරුන් ය.

හැරී කුමරුන්ගේ තීරණයත් සමඟ රජ පවුල තුළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වන අතර ඊට විසඳුමක් සෙවීමේ අරමුණින් එළිසබෙත් රැජින මෙම හමුව කැඳවා ඇත.

හැරී කුමරුන්ගේ පියා වන චාල්ස් කුමරු, සහෝදරයා වන විලියම් කුමරු ද එම හමුවට සහභාගී වීමට නියමිත බව බි්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.

මෙම හමුව නැගෙනහිර එංගලන්තයේ පිහිටි දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ පෞද්ගලික වතුයායක් වන සැන්ඩ්‍රින්හැම්හිදී පැවැත්වෙන බව ද එම මාධ්‍ය වාර්තාවල දැක්විණි.

මේගන් මාකෙල් කැනඩාවේ සිට විඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම හමුවට එක්වීමට නියමිත අතර ඇති වී තිබෙන ප්‍රශ්නයට විසඳුමක් සෙවීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.

චාල්ස් කුමරුන්ට අයත් වතුයායවලින් හැරී කුමරුන්ට කොතරම් මුදලක් ලැබෙනවාද ? ඔවුන්ගේ රාජකීය ගෞරව නාම, ඔවුන්ට එක්විය හැකි වාණිජ ගිවිසුම් මොනවාද යන කරුණු සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡා කිරීමට නියමිත බවත් බ්‍රිතාන්‍යයේ ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබිණි.

තමා සහ හැරී කුමරු දැන් වෙනමම දෙදෙනකු යැයි විලියම් කුමරු විශ්වාස කරන බව ද එම පුවත්පත වාර්තා කර තිබිණි. හැරී කුමරුන් රජ පවුලෙන් ඉවත් වීමට ගත් තීරණය නිසා විලියම් කුමරු මෙන්ම චාල්ස් කුමරු ද කනස්සල්ලෙන් පසුවන බව වාර්තා විය.

“අපි අපේ මුළු ජීවිත කාලෙම මල්ලිත් එක්ක හිටියා. අපි ප්‍රශ්නවලට එකට මුහුණ දුන්නා. ඒත් දැන් එහෙම කරන්න බැහැ. අපි දැන් දෙන්නෙක්” යැයි ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි. විලියම් කුමරු මේ බව පවසා ඇත්තේ ඔහුගේ මිතුරකුට යැයි ද එම පුවත් වාර්තාවේ දැක්විණි.

හැරී කුමරු, මේගන් මාකෙල් සහ ඔවුන්ගේ පුතු ආචී නත්තල ගත කළේ කැනඩාවේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු නිළියක වන මාකෙල් මේ සතියේදී නැවත වරක් කැනඩාවට යෑමට නියමිතය.

රජ පවුලෙන් ඉවත් වන බව නිවේදනය කළ අවස්ථාවේදී නිදහසේ කාලය ගත කිරීමට අවශ්‍ය බව ද හැරී සහ මේගන් මාකෙල් යුවල පැවැසූහ.ඒ අනුව ඔවුන්ගේ ඉල්ලීමට විසඳුම් සෙවීමට ඉක්මන් වන්නැයි ද එළිසබෙත් මහ රැජින පසුගිය බ්‍රහස්පතින්දා කාර්යමණ්ඩලයට දැනුම් දුන්නාය.

මේගන් මාකෙල් වැන්කුවර් දූපත්හි පිහිටි මන්දිරයට පැමිණ ඇතැයි කැනඩාවේ ඇතැම් මාධ්‍ය වාර්තා කළේය. හැරී-මේගන් පවුල වසර අවසාන නිවාඩුව ගත කළේ එහිය. ඔවුන්ගේ ආචී පුතු ආචි පුතු එහි තම ආච්චි අම්මා සමඟ කාලය ගත කළේය.
බි්‍රතාන්‍යයේ සහ උතුරු ඇමෙරිකාවේ වැඩි වශයෙන් කාලය ගත කිරීමට අවශ්‍ය බව බදාදා (8) ප්‍රකාශ කළහ. එම ප්‍රකාශයෙන් රජ පවුලේ ජ්‍යෙෂ්ඨයෝ වික්ෂිපත් වූහ.

එදිනම සවස රැජිනගේ කාර්යාලය කෙටි නිවේදනයක් නිකුත් කළ අතර “සංකීර්ණ කිහිපයක් ඇති බවත් ඒවා විසඳා ගැනීමට යම් කාලයක් ගතවන” බවත් එහි දැක්විණි.

ඉදිරියටත් මහ රැජිනට “සම්පූර්ණ සහයෝගය” දෙන බවත් රජ පවුලේ ජ්‍යෙෂ්ඨයන් සමඟ “සහයෝගයෙන්” කටයුතු කරන බවත් හැරී සහ මේගන් යුවල පැවැසූහ.

රැජිනට අයත් ‘වින්ඞ්සර් කාසල්’ රාජකීය නිවහන තමන්ගේ ලෙස තවදුරටත් තබාගැනීමට බලාපොරොත්තු වන බවත් එසේ මූල්‍ය වශයෙන් ස්වාධීන වීමට අපේක්ෂා කරන බවත් ඔවුහු තවදුරටත් කීහ.

රජ පවුලෙන් ඉවත් වීමත් සමඟ හැරී මේගන් යුවලට සියලු රාජකීය වරප්‍රසාද අහිමි වන අතර ජීවත් වීමට සිදුවන්නේ ඔවුන් උපයා ගන්නා මුලදිනි.

Read more

Local News