වැලන්ටයින්

Share

සෑම වසරකම පෙබරවාරි 14 වෙනිදාට යෙදී ඇති වැලන්ටයින් දිනය හෙවත් වැලන්ටයින් සාන්තුවරයාගේ දිනය ලොව පුරා බොහෝ රටවල ආදරවන්තයෝ සහ ආදරවන්තියෝ ඉහළින් සමරති.

 

වැලන්ටයින් දින ආදරවන්තයෝ සහ ආදරවන්තියෝ එකිනෙකා කෙරෙහි ඇති හැඟීම් ප්‍රකාශ කරමින් සුභපැතුම් පත්, මල් සහ චොකලට් හුවමාරු කර ගනිති.

කවුද මේ ශාන්ත වැලන්ටයින්?

ප්‍රසිද්ධ සාන්තුවරයෙකු ගේ නමින් වැලන්ටයින් දිනය හඳුන්වනු ලැබේ.

වැලන්ටයින් සාන්තුවරයා කවුරුන්ද යන්න පිළිබඳ විවිධ මත පවතියි.

වැලන්ටයින් සාන්තුවරයා ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ රෝමයේ විසූ පූජකයකු බව ඒ අතුරින් ප්‍රසිද්ධ මතයකි.

විවාහක පුරුෂයින්ට දක්ෂ සොල්දාදුවන් විය නොහැකි බවට පැවති විශ්වාසය හේතුවෙන් දෙවන ක්ලෝඩියස් අධිරාජයා විසින් විවාහය තහනම් කර තිබේ.

අධිරාජයා ගත් ක්‍රියාමාර්ගය අසාධාරණ යැයි හැඟුණු වැලන්ටයින් පූජකතුමා නීතිය බිඳ දමා යුග දිවියට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් රහසින් විවාහ කිරීමට කටයුතු කළ බව පැවසේ.

Oldest known Valentine's message
ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු ලොව පැරණිතම වැලන්ටයින් පණිවුඩය (ක්‍රිස්තු පූර්ව 1477)

ඒ බව දැනගත් ක්ලෝඩියස් අධිරාජයා වැලන්ටයින් පූජකතුමා සිරගත කොට ඔහුට මරණ දඬුවම ලබා දීමට නියෝග කළේය.

සිරගත කෙරුණු වැලන්ටයින් පූජකතුමා බන්ධනාගාර ප්‍රධාන ආරක්ෂකයාගේ දියණිය සමග පෙමින් වෙලුණි.

පෙබරවාරි 14 වෙනි දින මරා දැමීමට නියම වූ ඔහු ඊට පෙර සිය ආදරවන්තිය වෙත පෙම් හසුනක් ලියූ අතර එය අවසන් කොට තිබුණේ “ඔබේ වැලන්ටයින් වෙතින්” යනුවෙනි.

වැලන්ටයින් දිනය ආරම්භ වූයේ කෙසේද?

රෝමයේ පැවති පෞරාණික සැණකෙළියකින් පැවත එන බවට විශ්වාස කෙරෙන වැලන්ටයින් දිනයට ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබේ.

වසන්තයේ උදාව සනිටුහන් කරමින් රෝමානුවෝ පෙබරවාරි මස මැද භාගයේ ලුපකාලියා නමැති සැණකෙළිය සමරති.

සැණකෙළියේ එක් අංගයක් වශයෙන් පෙට්ටියක් තුළ බහාලූ තරුණියන්ගේ නම් සහිත කුසපත් තරුණයන් විසින් තෝරා ගනු ලබන බව පැවසේ.

Heart shaped box and a rose

සැණකෙළි සමය අවසන්වන තෙක් ආදරවන්තයින් ලෙස හැසිරෙන ඔවුන්ගෙන් ඇතැමෙක් විවාපත් වූහ.

පසුකාලීනව එම සැණකෙළිය ක්‍රිස්තියානි උත්සවයක් බවට පත් කිරීමට කතෝලික සභාවට අවශ්‍ය විය

එසේම වැලන්ටයින් සාන්තුවරයා සිහිපත් කිරීම සඳහා පෙබරවාරි 14 වෙනිදා යොදා ගැනීමටත් සභාව තීන්දු කළේය.

ක්‍රමයෙන් තම ලබැඳියන්ට සෙනෙහස පළකිරීම සඳහා වැලන්ටයින් සාන්තුවරයාගේ නම යොදා ගැනීමට ජනතාව හුරු වූහ.

Read more

Local News