ශාරීරික දුබලතා සහිත ඡන්ද හිමියන්ට සහයකයෙකු රැගෙන ඡන්ද මධ්‍යස්ථානයට යාමට අවසර

Share

අක්ෂි සහ ශාරීරික දුබලතා සහිත ඡන්ද හිමියන්ට සහයකයෙකු රැගෙන ඡන්ද මධ්‍යස්ථානයට යාමට අවසර දී තිබේ.

 

ජාතික මැතිවරණ කොමිසම් සභාව පැවසුවේ, අදාළ සහයකයා වයස අවුරුදු 18 ට සම්පූර්ණ වූවෙකු විය යුතු බවයි.

ඊට අමතරව මැතිවරණය සඳහා තරග කරනු ලබන අපේක්ෂකයෙකු නොවිය යුතු බවත් දේශපාලන පක්ෂයක බලයලත් නියෝජිතයෙකු නොවිය යුතු බවත් ස්වාධීන කණ්ඩායමක, කණ්ඩායම් නායකයෙකු ඡන්ද ප්‍රදේශ නියෝජිතයෙකු හෝ ඡන්ද පොළ නියෝජිතයෙකු නොවිය යුතු බව ද මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

ඒ අනුව, අක්ෂි සහ ශාරීරික දුබලතා සහිත ඡන්ද හිමියන්ට සහයකයෙකු රැගෙන යාම සඳහා යෝග්‍යතා සහතිකයක් අදාළ ඡන්ද පොළ නිලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතු වේ.

එම ඉල්ලුම්පත්‍ර සියලුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් සහ ග්‍රාම නිලධාරී කාර්යාලවලින් ලබා ගත හැකි බව ද මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ ය.

අදාළ ඉල්ලුම්පත්‍රයට ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරනු ලබන සහතිකය රජයේ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කර ඡන්ද හිමියාගේ යෝග්‍යතාව සටහන් කිරීමෙන් පසු එය මැතිවරණ දින ඡන්ද මධ්‍යස්ථානයට ඉදිරිපත් කළ හැකි බව ද ජාතික මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

Read more

Local News