මෙරට ප්‍රථමවරට කොරෝනා වැළඳුනු මවක් දරුවකු බිහිකරයි

Share

ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට කොවිඩ් ආසාදිත මවක් දරුවෙකු බිහි කර තිබේ.

 

මෙම සිසේරියන් සැත්කම සඳහා වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සාමාජිකයින් 35 දෙනකු සහභාගි වීම විශේෂත්වයකි.

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ දී මෙම සැත්කම සිදු කර ඇත.

ඩුබායිහි සිට පසුගිය 10 වැනි දා මෙරටට පැමිණි මෙම ගර්භනී මව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇති අතර එහිදී කළ පීසීආර් පරීක්ෂණයේ දී ඇයට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට පසුගිය 21 වැනි දා තහවුරු වී තිබේ.

පසුව වෛද්‍යවරුන් විසින් ඇයව කොවිඩ් ආසාදිත ගැබිණි මව්වරුන් වෙනුවෙන් ස්ථාපිත නැගෙනහිර කොළඹ මුලික රෝහලේ විශේෂ ඒකකය වෙත යොමුකර තිබේ.

පසුගිය 23 වැනිදා මෙම ඒකකයට ඇතුළත් කළ ඇය ඊයේ (31) පස්වරුවේ ප්‍රසූත වේදනාවෙන් සිටින බවට වෛද්‍යවරුන් නිරීක්ෂණය කර තිබුණි.

ඇය කොවිඩ් ආසාදිතයෙකුවීම නිසා මෙම දරු ප්‍රසූතිය ප්‍රවේශමෙන් කළ යුතු විය.

මවගේ විෂබීජ පරිසරයට මුසුවීම වැළැක්වීම එහිදී වෛද්‍යවරුන් මුහුණදුන් ප්‍රධාන අභියෝගයකි.

එබැවින් මෙම සිසේරියන් සැත්කම සඳහා වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 35 දෙනකු එක් වී තිබේ.

ක්ෂුද්‍රජීවී වෛද්‍යවරුන්ද ඊට එක්ව සිටීම විශේෂත්වයකි.

ඒ අනුව කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින ගැබිණි මවක් මෙරට දී දරුවකු බිහිකළ ප්‍රථම අවස්ථාව මෙය වේ.

වෛද්‍යවරුන් පවසන්නේ, නිරෝගී තත්ත්වයේ සිටියත් දරුවාගේ ජෛව සාම්පල කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවය.

මේ වන විට වෙනම කාමරයක රඳවා සිටින මව සහ දරුවා සමඟ වෛද්‍යවරුන් අදහස් හුවමාරුකරගන්නේ ඉතා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් හරහාය.

Read more

Local News