මත්තල ගුවන්තොටුපළ නැවත සක්‍රීය කෙරේ

Share

පාඩු ලැබීම හේතුවෙන් පසුගිය රජය සමයේ විකිණීමට සූදානම් වූ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අද (09) සිට ජාත්‍යන්තර මට්ටමේ දැවැන්ත ගුවන් මෙහෙයුමක් ආරම්භ කිරීමට ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගම සැලසුම් කර තිබේ.

 

ඒ අනුව, අද එමිරේට්ස් ගුවන්සේවය මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණෙන අතර අමෙරිකාව සහ යුරෝපා රටවලට ගුවන් භාණ්ඩ ප්‍රවාහන කටයුතු ද අද සිට ආරම්භ කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ විවෘත කෙරුණේ 2013 මාර්තු 18 වැනි දිනය.

යහපාලන රජය බලයට පැමිණිමෙන් පසු 2015 සැප්තැම්බර් 02 වැනිදින මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ පරිශ්‍රයේ පිහිටි ගුවන් භාණ්ඩ බහලුම් සංකීර්ණයේ වී ගබඩා කිරීමට තීරණය කෙරුණේ දැඩි විරෝධය මධ්‍යයේය.

කෙසේවෙතත් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ පරිශ්‍රයෙහි ඇති එක්ස්රේ ස්කෑනින් යන්ත්‍ර, අධි තාක්ෂණික ගිනි සංවේදිත උපකරණ, වායු සමීකරණ යන්ත්‍ර, අධි ශීතකරණ කාමර සහිත රුපියල් කෝටි 200 කට අධික වටිනාකමින් යුත් ගොඩනැගිල්ලේ වී ගබඩා කිරීම සිදුකෙරුණි.

පසුව, වසර පහකට ආසන්න කාලයක් පුරා අක්‍රියව පැවැති මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් නැවත සක්‍රීය ගුවන් මෙහෙයුම් සඳහා දායකත්වය ලබාදෙනු ලැබුවේය.

ජුනි සහ ජූලි මාසවල දී පමණක් ගුවන් ගමන් වාර 70කට අධික ප්‍රමාණයක් හසුරුවමින් ගුවන් මගීන් 2500කට අධික පිරිසකට සේවා සැපයීමට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට හැකිවිය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා සහ විදේශ ගුවන් යානා රැසක් ද මේ කාලය තුළ මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළට පැමිණීම විශේෂත්වයකි.

එමෙන්ම මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළින් හෙට දිනයේ අමෙරිකාව වෙත භාණ්ඩ ප්‍රවාහනය සිදුකිරීම ද විශේෂත්වයකි.

ඒ අනුව, ගුවන් භාණ්ඩ ටොන් 28 ක් එමිරේට්ස් ගුවන් යානයකින් අමෙරිකාවට අපනයනය කරයි.

Read more

Local News