නෞකාවේ සිට පැතිර ඇති ඉන්ධන පැල්ලම ඩීසල් නොවන බවට අනාවරණය වෙයි

Share

ගිනි ගැනීමට ලක්වු නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවේ ගැලවුම්කාර සමාගමේ නියෝජිතයින් තිදෙනෙකු නෞකාවට ඇතුළු වී ඇති බව නාවික හමුදාව පවසයි.

 

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් අද (09) දින නීතිපතිවරයා වෙත දැනුම් දී තිබෙන්නේ නෞකාවේ සිට කිලෝමීටර 04 ක් පමණ දුරට පැතිර ඇති ඉන්ධන පැල්ලම ඩීසල් නොවන තාර වැනි ඝන තෙල් විශේෂයක් බවයි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ අදාළ ඉන්ධන වර්ගය තහවුරු කරගැනීම සඳහා පර්යේෂණාගාර වාර්තාවක් ලබාගැනීමට නියමිත බවයි.

ඊයේ (08) සහ අද (09) දිනයේ අවස්ථා දෙකක දී නෞකාව ආශ්‍රිත මුහුදේ ඉන්ධන පැල්ලම් නාවික හමුදාව විසින් නිරීක්ෂණය කළ අතර ඊයේ මතුව තිබූ ඉන්ධන පැල්ලම රසායනික ද්‍රව්‍ය යොදා විනාශ කර දැමීමට පියවර ගැණුනි.

ඒ අනුව අද දිනයේ කිමිඳුම්කරුවන් අදාළ ඉන්ධන පැල්ලම් සම්බන්ධයෙන් පරීක්ෂාවට ලක්කර ඇති අතර ඒවා නෞකාව සඳහා භාවිත කරනු ලබන ඉන්ධන බවට අනාවරණය වී ඇති බව සඳහන් වේ.

Read more

Local News