වසර නවයකට පසු ඇඹිලිපිටිය කඩදාසි කම්හල යළි වැඩ අරඹයි

Share

වසා දමා තිබූ ඇඹිලිපිටිය කඩදාසි කම්හල වසර 09කට පසුව දේශීය ආයෝජකයකු සමඟ ගිවිසුම් ගතවීමෙන් අනතුරු ව නැවත ආරම්භ කිරීමට ලැබීම රටේ වාසනාවක් බවත් වසා තිබෙන සියලු ම දේශීය කර්මාන්ත නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවත් කර්මාන්ත අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ (14 දින) ඇඹිලිපිටිය කඩදාසි කම්හල වසර නවයකට පසු නැවත ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

ලෝකයේ සමාජවාදී කඳවුරු බිඳ වැටෙද්දී චීනය ඩෙන්ෂියා ඕ පින් සහ වියට්නාමයේ මහතීර් මොහොමඩ් තමන්ගේ රටවල නායකත්වයට ඇවිත් සිදු කළේ ආයෝජකයන්ට අවස්ථාව ලබා දීම යි. අද වනවිට චීනය ඇමෙරිකාව පෙනෙන තෙක්මානයට ඇවිත්. මිලදී ගැනීම්වලින් ඉහළින් ම සිටින රට බවට පත්වෙලා. වියට්නාමය වේගයෙන් සංවර්ධනය වෙනවා. මේ රටේ වැසී තිබෙන කර්මාන්ත නැවත ආරම්භ කරන්නට අපි මුලින් ම ආරාධනා කරන්නේ දේශීය ආයෝජකයන්ට. මවුබිමේ ලේ සුවඳ දැනෙන අයට. ඊට අමතරව විදේශීය ආයෝජකයන්ට දේශීය ආයෝජකයන් සහ රජයේ මැදිහත්වීම මත සිය ආයෝජන සිදු කරමින් කර්මාන්ත නැවත ආරම්භ කිරීමට අවස්ථාව ලබා දෙනවා.

මෙම කඩදාසි කර්මාන්ත ශාලාව මඟින් වසරකට කඩදාසි මෙට්‍රික් ටොන් 75 000ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත අතර දේශීය ව අවශ්‍ය කඩදාසි සැපයිමට බලාපොරොත්තු වන බව ද පැවසි ය.

මේ කටයුත්ත ආරම්භ කිරීම පිළිබඳ හිටපු අමාත්‍ය විමල් වීරවංස මැතිතුමාට ස්වකීය ගෞරවය පුද කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

This image has an empty alt attribute; its file name is WhatsApp-Image-2022-03-15-at-12.58.33-PM-1-1024x682.jpeg

Read more

Local News