නත්තල සැමරිය යුතු අයුරු

Share

රට පුරා පවතින කොරෝනා වෙෙරස තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වී ඇති පවුල්වලට උදව් කරමින් දිළිඳුන් සමඟ බෙදාගත් පවුලේ මංගල්‍යයක් ලෙස නත්තල සමරන්නැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කරති.

 

මේ සියලු කටයුතු ලබා දී ඇති උපදෙස් පරිදි සිදු කරන්නැයි ද උන්වහන්සේ ඉල්ලා සිටියහ.

නත්තල් දින පණිවිඩය නිකුත් කරමින් මේ බව පැවැසූ උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළහ.

අපි තවත් වසරක නත්තලට සහභාගි වෙනවා. නත්තල කියන්නේ ජේසු බිළිඳුන්ගේ උපත සමරන අවස්ථාව යි. ජේසු බිළිදුන්ව අපි කතෝලික ජනතාව පිළිගන්නේ මනුෂ්‍ය වර්ගයාගේ ගැලවීම සදහා අපි අතර ජනිත වූ දෙවියන් වහන්සේගේ පිත්‍රයා.

මේ නත්තලේදී උන්වහන්සේ බිහිවූ ගව මඩුව දෙසට අපේ අවධානය යොමු කළ යුතුයි. ජේසු ඉපදුනේ රාජ මාලිගාවක නෙවෙයි. ඉතාම දිළිදු විදිහට උන්වහන්සේ මේ ලෝකයට ආවා. ඒ නිසා මේ නත්තල ඉතාම ආධ්‍යාත්මික නත්තලක් විදිහට සමරන්න අවශ්‍යයි.

ආත්මාර්ථකාමී වී අපේ පුද්ගලික ප්‍රීතිය සහ පරිභෝජනයට නත්තල ගත කිරීම වැරදියි. ඒ නිසා මේ නත්තල් මංගල්‍යයේ දී අපෙ රටත්, ලෝකයත් කොරෝනා වසංගතය නිසා පීඩාවට පත් වී ඇති ජනතාව කෙරෙහි අවධානය යොමු කරමින් නත්තල ගත කළ යුතුයි .

මේ රටේ අනිකුත් පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් මෙම නත්තල සමරන්න. ආධ්‍යාත්මික පැත්තට බරව එය සමරන්න. පවුලේ අයත් සමග එය සමරන්න. අනවශ්‍ය වියදම් දරන්න එපා. අසල්වැසි දිළිදු පවුල් සදහා උදව් කරන්න.

අපේ රටේ කෝවිඩ් වසංගතය පැතිරෙන්නේ නැති ආකාරයට , ඒ උපදෙස්වලට කීකරුව පවුලේ මංගල්‍යයක් ලෙස නත්තල සමරන්න. ජේසු බිළිඳුන් ලොවට ගෙනා සාමයේ හා සමගියේ වටිනාකම් මේ නත්තල් මංගල්‍යයේ දී ප්‍රාර්ථනා කරනවා.

ජේසු පිහිටයි

Read more

Local News