සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීමේදී අවතැන් වන ජනතාවට කඩිනම් විසඳුම් ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට ඊයේ (30) දිනයේ උපදෙස් දුන්නේය.
රජයේ සහ තමාගේ ප්‍රතිපත්තිය කෘෂිකර්මාන්තයට ප්‍රමුඛතාව දීම බව සඳහන් කළ ජනාධිපතිවරයා කෘෂිකර්මාන්තය ජීවනෝපාය කර ගත් ජනතාවගේ දෛනික වගා කටයුතුවලට බාධා නොකරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් අතර දේශපාලන අධිකාරියේ පූර්ණ සහාය ඔවුනට හිමි විය යුතු බවද පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “ගම සමඟ පිළිසඳර” සඳහා කැබිතිගොල්ලෑව, කණුගහවැව ගමට ඊයේ ගිය අවස්ථාවේදීය. ජනාධිපතිවරයා සහභාගී වූ “ගම සමඟ පිළිසඳර” සිවු වැන්න මෙය වෙයි.
ඊයේ (30) පිළිසඳර සඳහා අනුරාධපුර නගරයේ සිට කිලෝ මීටර් 73ක් දුරින් පිහිටි කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කණුගහවැව ගම්මානය තෝරාගෙන තිබිණි. ජන හමුව කණුගහවැව ප්‍රාථමික විද්‍යාල භූමියේදී පැවැති අතර තල්ගහවැව, හල්මිල්ලවැටිය, තම්මන්නෑව, හේරත් හල්මිල්ලෑව, නිකවැව ඇතුළු ගම්මාන රැසක ජනතාව සිය දුක්ගැනවිලි ජනාධිපතිවරයාට දැනුම් දීම සඳහා රැස්ව සිටියහ.
මින් ඉදිරියට ව්‍යාපෘති සැලසුම් කිරීමේදී ඉඩම් අහිමි වන්නන්ට විකල්ප ඉඩම් සහ වන්දි දීමට ප්‍රමුඛත්වය හිමි විය යුතු යැයි පැවසූ ජනාධිපතිවරයා කණුගහවැව ප්‍රාථමික විද්‍යාලය, හල්මිල්ලවැටිය සහ කැබිතිගොල්ලෑව විද්‍යාලවල ගුරු හිඟය සහ වෙනත් අවශ්‍යතා කඩිනමින් සපුරාලන ලෙස ඒ මහතා අධ්‍යාපන නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කැබිතිගොල්ලෑව බෙදුම්වාදී යුද්ධය සමයේ එල්ටීටීඊ ත්‍රස්තවාදී භීෂණයට නිතර ගොදුරුවූ ප්‍රදේශයක් වන අතර 2006 ජූනි මස 15 වැනි දින හල්මිල්ලවැටිය ග්‍රාමයේදී කැබිතිගොල්ලෑව බස් රථය කොටි ත්රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයට ලක්වීමෙන් කණුගහවැව සහ අවට ගම්වල 68 දෙනකු ජීවිතක්ෂයට පත් වූහ. 1995 සිට 1998 දක්වාත්, 2006 සිට 2008 දක්වාත් මේ ගම්මානවල වැසියන්ට ත්‍රස්තවාදී භීෂණය නිසා කඳවුරුගතව ජීවත්වීමට විය. දැන් එකී උවදුර අවසන් වී ඇතත් ඔවුහු බරපතළ ආර්ථික, සාමාජයීය ප්‍රශ්න රැසකට මුහුණ පා සිටින අතර ග්‍රාමයේ දරිද්‍රතාව ජන සංඛ්‍යාවෙන් සියයට 54කි.
ඇමැති එස්. එම්. චන්ද්‍රසේන, රාජ්‍ය ඇමැතිවරුන් වන දුමින්ද දිසානායක, ෂෙහාන් සේමසිංහ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. නන්දසේන, උද්දික ප්‍රේමරත්න, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහත්වරු, ජනතා නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් “ගම සමඟ පිළිසඳරට” එක්ව සිටියහ.



