ඔරුගොඩවත්තට නිවාස 440 කින් සමන්විත නව නිවාස ව්‍යාපෘතියක්

Share

වර්ග අඩි 700 හා වර්ග අඩි 900 කින් යුත් සියළු පහසුකම් සහිත මහල් නිවාස සංකීර්ණය වසරක් ඇතුළත නිම කිරීමට පියවර.

 

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මධ්‍යම පාංතික පවුල් වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස 5,000 වැඩසටහන යටතේ ක්‍රියාත්මක තවත් නිවාස ව්‍යාපෘතියක ඉදිකිරීම් පසුගිය දා ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී ආරම්භ කෙරිණ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිවරුන්ගේ උපදෙස් පරිදි ඔරුගොඩවත්ත ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.

වර්ග අඩි 700 හා වර්ග අඩි 900 කින් සමන්විත මෙම මහල් නිවාස සංකීර්ණය වසරක් ඇතුළත ඉදිකර අවසන් කිරීමට නියමිතයි. නවීන පහසුකම් රැසකින් මෙම නිවාස ව්‍යාපෘතිය සමන්විත වන අතර මෙම ඉදිකිරීම් කටයුතු ඉහළ ම ප්‍රමිතියකින් යුක්තව ඉදිකරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.

නිවසක් හෝ නිවසක් සාදා ගැනිමට ඉඩමක් නොමැති තරුණ තරුණියන් ඉලක්ක කර ඉදිවන මෙම නව නිවාස, රාජ්‍ය බැංකුවලින් 6.25% ක් වැනි අඩු පොළියකට වසර 25 ක් තුළ ගෙවා නිම කිරීමේ පහසු ගෙවීමේ ක්‍රමයකට ලබා දීමට යෝජිත ය.

නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයින්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරෙණු අතර නාගරික සංවර්ධන අධිකාරිය මඟින් එම සියළු කටයුතු අධික්ෂණය කරනු ලබයි.

රජයෙන් ලබා ගන්නා ඉඩම්වල ඉදිකරන නිවාස ව්‍යාපෘති සඳහා රජයේ ආයෝජකයන්ට මෙන් ම පුද්ගලික අංශයේ ආයෝජකයන්ට ද නිවාස ඉදිකිරීම සඳහා අවසර ලබා දෙන බව නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අවස්ථාවට එක්වෙමින් සඳහන් කළේ ය.

“මේ දින කිහිපය අපිට ඉතාමත් සතුටුදායක වෙනවා. ඒ මෑත කාලයේ මේ නිවාස කිහිපය පිළිබඳව හොඳ ප්‍රචාරයක් ලැබුණු නිසා. ලංකාවේ මෙම ඉදිකෙරෙන මධ්‍යම පාංතික නිවාස 5,000 සුපිරි මහල් නිවාසවලට සමාන නිවාස. කොළඹ නගරයේ තිබෙන මහල් නිවාසවල මිල සාමාන්‍ය වෘත්තියක නියැලෙන කෙනෙකුට දරන්න බැහැ. හැබැයි සුපිරි තත්වයේ තියෙන අර්ධ මහල් නිවාස මිල සාමාන්‍ය වෘත්තිකයෙකුට දරාගත හැකියි. ඒ වගේම තමයි රජය පටන් ගත්තු අඩු ආදායම්ලාභී මහල් නිවාස ව්‍යාපෘතියත්.

මධ්‍යම පාංතිකයන් සඳහා දැන් තියෙන වෙනත් මහල් නිවාස ප්‍රමිතියෙන් අඩුයි. මිලත් වැඩියි. අපේ මේ මධ්‍යම පාංතික නිවාසවල මිලත් අඩුයි. ඒ වගේ ම ප්‍රමිතියෙන් වැඩියි. අපේ ඊළඟ පියවර ගැන සඳහන් කරනවා නම් රජයේ වියදමින් ඉඩම් ආයෝජනය කරලා පුද්ගලික අංශයටත් ආයෝජකයන් වෙන්නට ඉඩ ලබා දීම. ඒ මෙවැනි නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන්. ඒ ඇරෙන්න සල්ලි ටික ටික දාලා පෙට්ටි ගෙවල් නම් අපි හදන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි නිවාස හදන්නේ යම්කිසි තිරසාර සැලැස්මකට. මෙහි ප්‍රතිඵල අපිට දකින්න ලැබෙන්නේ දීර්ඝකාලීනවයි.”යනුවෙන් ද නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේ ය.

මෙම අවස්ථාවට සහභාගී වූ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව එහි ප්‍රමුඛතම කාර්යය වන්නේ සතුටින් සිටින පවුලක් බිහි කිරීම වන අතර ඒ සඳහා අවශ්‍ය වන නිවාස අහිමි සියළුම ජනතාවට නිවාස ලබා දීම බවයි.

“අලුත් අවුරුද්ද පටන් අරන් ගෙවුණු දින කිහිපය ඇතුළත අපි නිවාස ව්‍යාපෘති 07 කට මුල්ගල තැබුවා. මධ්‍යම පාංතිකයන් අසරණ වෙලා, ඔවුන්ට සැවොම පිටුපාලා ඉන්න වෙලාවේ ජනාධිපතිතුමා ඔවුන්ට අතදීලා කරන ව්‍යාපෘතියක් තමයි මේ නිවාස ව්‍යාපෘතිය. මේ ගෙවල් අවුරුද්දක් ඇතුළත ජනතාවට ලබා දෙනවා. ඒක මේ කොන්ත්‍රාත්කරුවන් කිසිම කෙනෙකුට අමාරු වැඩක් නෙමෙයි. ජනාධිපතිතුමා අපිට කියලා තියෙන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සමඟ දිගට ම වැඩ කරන්න අපි ලෑස්තියි කියලා. විදේශිකයන්ට මේ රටට ආවම ඔවුන් මුලින් ම බලන්නේ කොළඹ නගරයේ ව්‍යාපෘති කීයක් ක්‍රියාත්මකව තියෙනවා ද කියලා. ඒක තමයි රටක් ගොඩනගන මුලාරම්භය වන්නේ කියලා ඒ අයත් දන්නවා. මේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ව්‍යාපෘති කිහිපයක් මේ අවුරුදු කිහිපය තුළ ක්‍රියාත්මක කරනවා. ඒ වගේම තමයි අතිගරු ජනාධිපතිතුමාගේ කැමති ම විෂය වන්නෙත් මේ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා ජනතාව සතුටින් සිටින පවුලක් බවට පත් කිරිම.”යනුවෙන් ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සමස්ථ නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමේ කටයුතු අධික්ෂණය කරනු ලබයි.

 

Read more

Local News