ශ්‍රී ලංකාවේ පළමු දේශිය වෛද්‍ය විශ්ව විද්‍යාලය ඇරඹේ

Share

දේශීය වෛද්‍ය අධ්‍යාපනය සදහා කැප වු ශ්‍රී ලංකාවේ පළමු විශ්ව විද්‍යාලය ලෙස ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලය විවෘත කෙරේ.

එම විශ්ව විද්‍යාලය මෙරට විශ්ව විද්‍යාල පද්ධතියට එක් වු 16 වෙනි විශ්ව විද්‍යාලයයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙම විශ්ව විද්‍යාලය විවෘත කිරීම අද (01) සිදු කෙරුණේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.

1929 දී ආයුර්වේද චක්‍රවර්ති පණ්ඩිත් ජී.පී. වික්‍රමාරච්චි මහතා විසින් ශිෂ්‍යන් 20ක් සමග ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය ආරම්භ කළේය. එය 1995 වසරේ දී කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ යක්කල වික්‍රමාරාච්චි දේශීය වෛද්‍ය ආයතනය ලෙස ස්ථාපිත කෙරිණි. මෙය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරිමට යෝජනා වූයේ 2011 වසරේ දියි එවකට ජනාධිපතිවරයා වු වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඒ සදහා අවශ්‍ය මුලික කටයුතු සිදු කළ ද යහපාලන රජය එම යෝජනාව ක්‍රියාත්මක කිරීම අත්හැර දමා තිබුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය වූ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් වන්නේ මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය පුළුල් කරන බවයි.

ඒ අනුව යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමේ කටයුතු යළි ආරම්භ කෙරුණු අතර ඒ සදහා මූලිකත්වය ගෙන කටයුතු කළ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතායි.

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ නාමපුවරුව නිරාවරණය කිරීම සහ සිව්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම අද සිදු කෙරුණු අතර එහි දැනට ඇති පූර්ණ කාලීන අධ්‍යාපන පාඨමාලාවන්ට අමතරව අලුතින් පශ්චාත් උපාධි හා අර්ධකාලීන පාඨමාලා ආරම්භ කිරීමට නියමිතයි.

වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීම නිමිත්තෙන් පැවති උත්සව සභාවේදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ මෙම ආයුර්වේද විශ්ව විද්‍යාලය, මෙරට විශ්ව විද්‍යාල පද්ධතියට එක්වීම වත්මන් රජය ලැබු සුවිශාල ජයග්‍රහණයක් බවයි. විශේෂයෙන් ම විශ්ව විද්‍යාල පද්ධතිය පුළුල් කිරීම සදහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය යෙ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ලබා දුන් පොරොන්දුව ඉටු කිරීමට හැකිවීම සතුටට කාරණයක් බව පෙන්වා දුන් ඇමතිවරයා වාර්ෂිකව විශ්ව විද්‍යාලයට ඇතුළ් වන සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමට රජය දැනටමත් පියවර ගෙන ඇතැයි සදහන් කළේය. පසුගිය වසරේ පසුගිය කළින් වසරට වඩා විශ්ව විද්‍යාලවලට ශිෂ්‍ය ශීෂ්‍යාවන් 11,000 ක් ඇතුළත් කර ගැනීමට කටයුතු යොදා තිබේ. ඉදිරියේ දී වාර්ෂිකව එම ශීෂ්‍යයන් සංඛ්‍යාව වැඩි කිරීමට රජය අපේක්ෂා කරයි. එමෙන්ම විශ්ව විද්‍යාල වලට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට ද රජයේ විශේෂ අවධානය යොමුව තිබේ.

දිවයිනපුරා පිහිටි සියලු විශ්ව විද්‍යාල වල භෞතික හා මානව සම්පත් මේ අනුව දියුණු කෙරේ. කොරෝනා වසංගතය මෙරට ආර්ථික හා සාමාජීය යටිතල පහසුකම් සංවර්ධනයට කිසිදු බාධාවක් වීමට ඉඩ නොතබන බවට ද ඇමතිවරයා මෙහි දී සහතික වූයේය.

නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා මෙහි දී සදහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා වීමට ද පෙර වියත්මග හරහා අධ්‍යාපන ක්ෂේත්‍ර යේ දියුණු කිරීම සදහා වන යෝජනා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ බවයි. අධ්‍යාපනය සදහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විට රජය වැඩි කර
තිබෙන බවත් රජයේ මුලික අවධානය යොමුව ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රය නංවාලීමට බවත් නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දි කීවේය.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සදහන් කළේ දේශීය වෛද්‍ය විද්‍යාව රැකගැනීම සදහා රජය සුවිශේෂ අවධානයක් යොමු ව ඇති බවයි. සාම්ප්‍රදායික ගුලි,කල්ක වෙනුවට නව ඖෂධ හදුන්වා දීමට ඉදිරියේ දී කටයුතු කරන බව ද ඔහු සදහන් කළේය. දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව නවීන තාක්ෂණය අනුව දියුණු කිරීමට ද රජයේ අවධානය යොමුව තිබේ.

මෙරටට ආවේණික ශාක හා බෙහෙත් වර්ග රැකගැනීම වෙනුවෙන් ද රජය විශේෂ අවධානයක් යොමු කර ඇත. ඒ වෙනුවෙන් ඉදිරියේ දී නව නීති හදුන්වා දීමට ද අපේක්ෂා කෙරෙන බව ඔහු සදහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ අභිනව උප කුලපතිිනි මහාචාර්ය ජනිතා ලියනගේ යන මහත්ම මහත්මීහු ද මෙහි දී කථා කළහ.

Read more

Local News