කොළඹ ඔක්සිජන් ප්‍රතිශතය සම්බන්ධව පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෙත වාර්තාවක්

Share

කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය සම්බන්ධව පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත වාර්තාවක්- කොළඹ කලාපයේ ඔක්සිජන් අඩු වීමේ තත්ත්වයක් නොමැති බව විද්‍යාත්මක සමීක්ෂණ වාර්තා තහවුරු කරයි.

කොළඹ වායු කළාපය තුළ තිබෙන ඔක්සිජන් ප්‍රතිශතය ක්‍රමයෙන් පහළ යන බවට කොළඹ මහ නගර සභාවේ නිලධාරින් පිරිසක් පරිසර අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අනාවරණය කරනු ලැබීය.

එවැනි තත්ත්වයක් සත්ව හා ශාඛ ප්‍රජාව පැවැත්ම කෙරෙහි බලපාන බැවින් මෙම පාරිසරික තත්ත්වයන් සම්බන්ධව වැඩි දුර සොයා බැලීම සඳහා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මධ්‍යම පරිසර අධිකාරිය, හා පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කළමණාකරණ හා ජාතික ඕසෝන් ඒකකයට වහාම වාර්තාවක් තමන් වෙත ලබා දෙන උපදෙස් දුන්නේය.

ඒ අනුව අදාල අංශ විසින් කොළඹ නගරයේ වායු කළාපයේ ඔක්සිජන් අඩුවී ඇත්දැයි සොයා බැලීමට සිදු කළ සමීක්ෂණ වාර්තාවක් ඊයේ(08) ලේකම්වරයාට බාර දී තිබේ.
එකී වාර්තාව අනුව මේ වනවිට කොළඹ කලාපය තුළ ඔක්සිජන් මට්ටමේ අවම වීමක් වාර්තා නොවන බව තහවුරු කර තිබේ.

දිවයින තුළ වායු ගෝලයේ දූෂණ තත්ත්වය පිළිබඳ මිණුම් ලබා ගැනීම ජාතික පාරිසරික පනතට අනුකූලව මධ්‍යම පරිසර අධිකාරිය හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සිදු කරනු ලබයි. එහෙත් වායු ගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය පිළීබඳ කිසිදු මිණුම් ලබා ගැනීමක් ඉහත ආයතන සතු වායු තත්ත්ව මිණුම් උපකරණ මගින් සිදු කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගී.
තවද වායු තත්ත්ව මිණුම් ලබා ගැනීමේ දී ප්‍රධාන වශයෙන් වායු දූෂ්‍යකාරක ලෙස හඳුනාගෙන ඇති කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් පහළ වායු ගෝලීය ඕසෝන් , ක්ෂුද්‍ර අංශු වැනි සංඝටක පමණක් මිණුම් කරනු ලබයි.කෙසේ වෙතත් වායු ගෝලයේ ඔක්සිජන් මට්ටම ගෝලීය වශයෙන් ඉතා කුඩා ප්‍රමාණවලින් අඩුවෙමින් පවතින අතර එම අඩුවීම වසරකට ඔක්සිජන් අණු මිලියනයකට අණු 19ක් පමණ වන බව ද පෙන්වා දෙයි.

මෙම අඩුවීම ශාක හා සත්ව ප්‍රජාවන්ට මෙන්ම මානව සෞඛ්‍යයට කිසිදු බලපෑමක් ඇති නොවන තරමට සුළුකාරණයක් බව විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී තිබේ. එහෙයින් කොළඹ නගරයේ ජනගහනය වැඩි වුවද, ඔක්සිජන් අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බවත්, කෙසේ නමුත් පවතින කාලගුණික තත්ත්වයන්ට අනුව වායු ගුණාත්මක තත්ත්වයේ විචලනයන් සිදුවිය හැකි බව අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට ලබා දී ඇති වාර්තාව පෙන්වා දෙයි.

නමුත් මේ දිනවල කොළඹ නගරයේ වායු ගෝලීය තත්ත්වයන් දෙස බලන විට වායු දූෂණ තත්ත්වයක් වාර්තා නොවන අතර සාමාන්‍ය මට්ටමක පවතින බවද එම වාර්තාව පෙන්වා දෙයි.

Read more

Local News