මියන්මාර හමුදා ජුන්ටාවට ලංකාවෙන් යැවූ ලිපියට එරට ජනයාගේ අප්‍රසාදය

Share

මෙරට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් බිම්ස්ටෙක් අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගි වන ලෙස මියන්මාර හමුදා ජුන්ටාවේ විදේශ අමාත්‍යවරයාට ලිපියක් යවා තිබේ.

ඒ අනුව අප්‍රේල් මස 1 වැනිදා කොළඹ දී ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන විදේශ ඇමතිවරුන්ගේ 17 වන රැස්වීමට සහභාගි වන ලෙස විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ අත්සනින් යුතුව මියන්මාර හමුදා ජුන්ටාවේ විදේශ අමාත්‍යවරයා වන වුන්නා මාවූන් ලාවුන්ට ආරාධනා කරමින් අදාළ ලිපිය යොමු කර ඇත්තේ පසුගිය 2 වැනිදාය.

මෙවැනි ලිපියක් යොමු කළ ශ්‍රී ලංකාව මියන්මාරයේ හමුදා පාලනය අනියමින් පිළිගෙන ඇති බවට මියන්මාර වැසියන් ට්විටර් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙත මේ වන විට ප්‍රකාශ මුදාහැර තිබෙන බව වාර්තා වෙයි

‘ෂේම් ඔන් යූ ශ්‍රී ලංකා’ යනුවෙන් හෑෂ් ටැගයක් මගින් ඔවුන් ට්විටර් සමාජ මාධ්‍ය වෙත සිය විරෝධය පළ කරන ආකාරය සදහන්

පසුගිය පෙබරවාරි 1 වන දා අවුන්සාන් සුඛීගේ පාලනය පෙරලා දැමූ මියන්මාර හමුදා ජුන්ටාවට එරෙහිව රට තුළ විරෝධතා රැල්ලක් ද හටගෙන තිබේ.

විරෝධතා වලදී 50කට අධික පිරිසක් මේ වනවිට මිය ගොස් ඇති අතර, ජගත් සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් මියන්මාර පාලනය හෙළා දකින බවයි.

බිම්ස්ටෙක් අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගිවීම සඳහා මියන්මාර විදේශ අමාත්‍යවරයා වෙත කරන ලද ආරාධනය පිළිබඳ සමාජ මාධ්‍යයේ පළ වන අදහස් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් දක්වා ඇත්තේ බිම්ස්ටෙක් සභාපතීත්වය දරණ හා අමාත්‍යවරුන්ගේ රැස්වීමේ සත්කාරක රට ලෙස මේ වසර අග ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අපේක්ෂිත 5 වන බිම්ස්ටෙක් සමුළුව පිළිබද ලේඛන කටයුතු අවසන් කිරීමේ අරමුණෙන් යුතුව සාකච්ඡාවලට සහභාගිවීම සඳහා මියන්මාරය ඇතුළු සියළුම සාමාජික රටවලට ආරාධනා කර ඇති බවයි.

Read more

Local News