ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාව සම්මත වෙයි

Share

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වැනි සැසිවාරයට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිළිබඳව යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් විය.

එහිදී මෙරටට එරෙහිව අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 22ක් හිමි වූ අතර යෝජනාවට එරෙහිව ඡන්ද 11ක් භාවිතා විය.

ඉන්දියාව සහ ජපානය ඇතුළු රටවල් 14ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් මෙවර සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබීය.

එම වාර්තාව අනුව මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් යුද අපරාධ විමර්ශනය, වත්කම් අත්හිටුවීම, සංචාර තහනම ඇතුලු සම්බාධක නිර්දේශ කරනු ලැබීය. 

එමෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය තුළ විශ්‍රාමික හමුදා නිලධාරීන් නිරත කරවීම, 19 සංශෝධනය වැනි ව්‍යවස්ථාමය ආරක්ෂණ විධිවිධාන ඉවත් කරනු ලැබීම, කොරෝනා වෙෙරසයෙන් මියගිය පුද්ගලයින් ආදාහනය කිරීම් ද මානව හිමිකම් සීමා කිරීමක් ලෙස මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව මඟින් හදුනාගෙන ඇති බවද එහි සඳහන් විය.

ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය යන තේමාව මුලික කරගත් යෝජනාවක් මෙවර එක්සත් ජාතීන්ගේ 46 වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරය සඳහා මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ සහ මලාවි යන රාජ්‍යයන් විසින් ගෙන එනු ලැබීය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී, මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැෂලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගියදා ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් ඉකුත් පෙබරවාරි 25 වැනිදා රටවල් 38ක නියෝජිතයින් සිය රටවල නිල ස්ථාවරය පැහැදිලි කළේය.

එහිදී එක්සත් රාජධානිය, ප්‍රංශය, අමෙරිකා එක්සත් ජනපදය, නොර්වේ රාජ්‍යය, කැනඩාව, ස්විට්සර්ලන්තය, බෙල්ජියම, නෙදර්ලන්තය, අයර්ලන්තය, ඇතුළු රටවල් 15ක් මහ කොමසාරිස්වරියගේ වාර්තාවට පක්ෂව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය විවේචනය කරමින් අදහස් පළ කළහ.

Read more

Local News