භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ සුබ්‍රමනියම් ස්වාමි මහතා ජනපති හමුවෙයි

භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ සහ ඉන්දීය රාජ්‍ය සභාවේ සාමාජික සුබ්‍රමනියම් ස්වාමි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර සුහද හමුවක් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

අමාත්‍ය ධුර කිහිපයක් හොබවා ඇති සුබ්‍රමනියම් ස්වාමි මහතා ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ශක්තිමත් මිත්‍ර සබඳතාවක් වෙනුවෙන් පෙනී සිටි සහ ශ්‍රී ලංකාව තුළ පැවති ත්‍රස්තවාදය පරාජය කිරීමට ඉන්දියාව සහාය විය යුතු බව අවධාරණය කළ අයෙකි.ආර්ථික විද්‍යාඥයෙකු සහ සංඛ්‍යාලේඛනඥයෙකු වන සුබ්‍රමනියම් මහතා, ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්වරයාව සිටිය දී සංවිධාන කළ සම්මන්ත්‍රණවල දේශකයෙකු විය.

සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ මෙවර සංචාරයේ දී නැවතත් හමුවීමට ලැබීම පිළිබඳව ජනාධිපතිතුමා සිය සතුට පළ කළේය.