මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදෙස් කාන්තාවක් අත්අඩංගුවට

Share

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද දින උදෑසන flydubai ගුවන් සේවයට අයත් FZ 547 නමැති ගුවන් යානයෙන් ඉතියෝපියාවේ අඩිස් අබාබා නගරයේ සිට ඩුබායි නගරය හරහා ශ්‍රී ලංකාවට පැමිණි සැක සහිත ඉන්දියන් ජාතික කාන්තාවක් පරික්ෂා කරන ලදී.

එම අවස්ථාවාදී ඇයගේ ගමන් බෑගයේ අඩංගු වූ ෂැම්පු බෝතල කිහිපයක් තුළ සහ ඇඳුම් කිහිපයක බොත්තම් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ කොකේන් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2532 සොයා ගැනීමට හැකි විය.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ සම්පූර්ණ වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි නවයකට ආසන්න බව ශ්‍රී ලංකා රේගුව තක්සේරු කර තිබෙනවා.

රේගු නිලධාරීන්ගේ විමසිලිමත් භාවය නිසා ශ්‍රී ලංකාව තුළට ජාවාරම් කිරීමට උත්සාහ කළ මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර මෙය මෑත කාලයේ දී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද සුවිශේෂී අත්අඩංගුවට ගැනීමක් ලෙස හැඳින්විය හැක.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මූලික විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකාරිය සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දෙන ලදී.

Read more

Local News