අධ්‍යාපන සහ පර්යේෂණ හුවමාරුව පිළිබඳ ගිවිසුමක්

Share

අමෙරිකා එක්සත් ජනපදයේ ඉලනෝයී විශ්වවිද්‍යාලය (University of Illinois) හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය අතර අධ්‍යාපන හා පර්යේෂණ ක්ෂේත්‍රය විෂයෙහි සහයෝගීතා හුවමාරු වැඩපිළිවෙළක් ස්ථාපිත කරගැනීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (09) දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පරිශ්‍රයේ දී සිදු වුණා.

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පේරාදෙණිය සරසවියේ උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ ගිවිසුමට අත්සන් තැබූ අතර අමෙරිකා රජය වෙනුවෙන් එරට ඉලනෝයී සරසවියේ පශූ වෛද්‍ය විද්‍යාලයීය පීඨාධිපති පීටර් ‍කොන්ස්ටබල් (Peter Constable) අත්සන් කළ බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

දෙරටෙහි පර්යේෂණ හා වෘත්තීය අධ්‍යාපන සහයෝගීතාව වඩාත් පුළුල් හා සවිමත් කරගැනීමට අදාළ ව අත්සන් තැබුණු මෙම ගිවිසුම අනුව පේරාදෙණිය සරසවියේ පශූ වෛද්‍ය, සත්ව ආහාර, සත්ව ඖෂධ හා පශූ ශල්‍යකර්ම යන ක්ෂේත්‍රවල විශේෂ ආධ්‍යාපනික වර්ධනයක් අපේක්ෂා කරන අතර ම දෙරට අතර අදාළ තොරතුරු හා තාක්ෂණික දැනුම් හුවමාරුවක් සිදු කරගැනීමට ද අපේක්ෂා කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

Read more

Local News