රූපයේ ලස්සන නැති කරන මෙලස්මා

Share

වයසට යාම අපි කාටවත්ම නවත්තන්න බැහැ. ඒක ස්භාවික ජීවන ක්‍රියාවලියක්. කොච්චර වයසට ගියත් හැමෝම කැමති තරුණ කාලේ වගේම ලස්සනට ඉන්න. නමුත් වයස්ගතවීමත් සමඟ මුහුණේ අඳුරු පැහැ ලප ඇති වීම රෝගයක් බව ඔබ දන්නවාද? මෙම රෝගය හඳුන්වන්නේ මෙලස්මා රෝගය කියලා.

 

සමහර අයට නම් මේ රෝගය ඔවුන්ගේ මැදි වයසේදී වුනත් ඇති වෙන්න පුළුවන්. මේවා සම මත ඇති වුනු කුඩා තිත් හෝ ලප වශයෙන් දකින්න පුළුවන්. මෙය බෝ වන රෝගයක් නම් නොවේ. අවාසනාව වන්නේ මෙය වැළඳුනු පසු සුව කර ගැනීම ඉතා අපහසුයි. මේ නිසා එය නොවැළඳෙන සේ ප්‍රවේශම් වෙන්න ඔබ පියවර ගත යුතුයි.

මෙලස්මා රෝගයේ මේ කියන ලප මුහුණේ කම්මුල්, දෙතොල් උඩ, නළල, නිකට, නාසය සහ ඇස් ආදී ස්ථාන වල ඇති වෙන්න පුළුවන්.සමහරවිට බෙල්ල සහ අත් දක්වාත් මෙම ලප පැතිරී යන්නත් පුළුවන්. මේවා ලා දුඹුරු, තද දුඹුරු සහ අලු පාට වර්ණ වලින් යුක්තයි.

මේ ලප ඇති වන ස්ථාන වල වේදනාවක් හෝ කැසීමක් නොමැති වීම විශේෂ ලක්ෂණයක්. මෙම රෝගය වැඩිපුරම වැළඳෙන්නේ තෙල් සහිත සමක් ඇති අයටත්, අඳුරු පැහැ සමක් ඇති අයටත්, ආසියාතික රටවල වෙසෙන අයට.

මෙලස්මා වැඩිපුරම වැළඳෙන්නේ කාන්තාවන්ට වුවත්, පුරුෂ පක්ෂයටත් වැළඳෙන අවස්ථා නැතුවම නොවේ. මෙම රෝගයෙන් ඇති වන එකම අහිතකර බලපෑම රූපය අවලස්සන වීම පමණයි.

මෙලස්මා වැළඳීමට හේතු……

ගර්භණී වීම – ගර්භණී වීමත් සමඟ මෙම ලප ඇති වුවත්, දරුවා ලැබුණු පසු ලප ඉබේම නැති වී යනවා.

හෝමෝන වෙනස්කම් – උපත් පාලන පෙති භාවිතය නිසා හෝමෝන වෙනස්කම් ඇති වන නිසා මෙම ලප ඇති විය හැක. වයස්ගතවීමත් සමඟ ඔසප් චක්‍රය අක්‍රමවත් වෙනවා. මෙවිට සිදු වන හෝමෝන වෙනස් කම් නිසාත්, තයිරොක්සීන් හෝමෝනය අඩු වීම නිසාත් මෙය ඇති වෙන්න පුළුවන්.

ජානමය හේතු – පවුලේ සාමාජිකයෙකුට මෙම තත්වය තිබේ නම්, අනෙක් අය නිවැරදි ක්‍රම අනුගමනය කරමින් මෙය ඇති නොවීමට වග බලා ගත යුතුය.

හිරු කිරණ – නිරන්තරයෙන් හිරු එලියට නිරාවරණය වීම නිසා මෙය වැළඳීමට වැඩි ඉඩක් ඇත. එය නොසලකා දිගින් දිගටම හිරු කිරණ වලට නිරාවරණය වීමෙන් මෙම රෝගී තත්වය වැඩි වේ.

සැර ඖෂධ – ඇතැම් රෝග වලට දිගු කාලීනව බෙහෙත් ලබා ගැනීම නිසා වයස් බේදයක් නොමැතිවම මෙම රෝගයට ගොදුරු විය හැක.

මෙලස්මා වැළඳීමට පෙර ආරක්ෂා වෙන්නේ කොහොමද?

හිරු එළියෙන් ආරක්ෂා වීම – හිරු එලියට නිරාවරණය වීමට පෙර සන් ක්‍රීම් එකක් භාවිතා කිරීමටත්, හිස් වැසුම් සහ කුඩ භාවිතා කිරීමටත් පුරුදු වන්න.

ඒ වගේම මුහුණ හොඳින් පිරිසිඳු කරන්න, කෝමාරිකා යුෂ ආලේප කර සම්බාහනය කිරීම, පිපිඤ්ඤා යුෂ ආලේප කර සම්බාහනය කිරීම, ස්ක්‍රබ් කිරීම , පැක් යෙදීම, ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, පලතුරු වැඩියෙන් ආහාරයට ගැනීම, ක්ෂණික ආහාර ලබා ගැනීම අඩු කිරීම, කැඳ සහ පලා වර්ග ලබා ගැනීම, තෙල්, ලුණු සහ මිරිස් භාවිතය අඩු කිරීම වැනි දෑ තුලින් මෙකී රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්.

මෙලස්මා සඳහා ප්‍රතිකාර

බ්ලීචින් ක්‍රමය – බ්ලීචින් ක්‍රමය මඟින් මෙලස්මා ලප අඩු කර ගන්න පුළුවන්. නමුත් එයින් බරපතල අතුරු ආබාධ ඇති වීමට ඉඩ තිබෙනවා.

Chemical Peeling ප්‍රතිකාරය – මෙහිදී මෙලස්මා ලප මත යම් රසායනික ද්‍රව්‍යයක් ආලේප කරනු ලබයි. එවිට එම ස්ථාන වල මතුපිට සම ගැලවී ගියත්, ඒ මොහොතේම ලප මැකී යන්නේ නැහැ. සතියකින් පමණ ලප මැකී යයි. මෙම ප්‍රතිකාරය කිහිප වරක් කිරීමෙන් පසුව මෙම ලප මැකී යයි. මෙය කළ පසු දින තුනක් යන තුරු හිරු එලියට නිරාවරණය වීමෙන් සහ ආලේපන ගැල්වීමෙන් වැළකිය යුතුයි.

ලේසර් ප්‍රතිකාරය – ලේසර් කිරණ යනු ශක්තිජනක කිරණ වර්ගයකි. ලේසර් ප්‍රතිකාරය මඟින් මෙලස්මා ලප ඉවත් කිරීම නිසා සම පැහැපත් වේ. මේ මඟින් විවිධ අතුරු ප්‍රතිඵල ඇති වීමට ඇති ඉඩ කඩ වැඩි නිසා පළපුරුදු වෛද්‍යවරයෙකු ලවා සිදු කරවා ගැනීම ඉතා වැදගත් වෙනවා.

ඉතින් මේ රෝගයෙන් ඔබත් පෙළෙනවා නම් ඔබටත් පුළුවන් මේ වගේ ප්‍රතිකාර තුලින් හැකි ඉක්මණින් සුවපත් වෙන්න වගේම රෝගයෙන් ආරක්ෂා වෙලා ඉන්න.

Read more

Local News